තත්පරයක දී කොටස් ගනුදෙනු 5ක් – පද්ධති ධාරිතාව ඉක්මවා යාමක්?

    January, 18, 2021

    පසුගිය සිකුරාදා (15) කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවන් කිහිපයක්ම නැවත අලුත් කළ දිනයක් විය. ඒ අතුරින් කැපීපෙනන වාර්තාවක් වූයේ තනි දිනක් තුළ මෙතෙක් ඉතිහාසයේ සිදුකෙරුණු වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වාර්තා වීමයි. එම ප්‍රමාණය 61,722 කි.

    කොවිඩ් වසංගත තත්ත්වයට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5 ක කාලයක් ගනුදෙනු සඳහා විවෘතව පැවතිය ද පවතින ‘නව සාමාන්‍ය‘ (New Normal) තත්ත්වය තුළ එහි ක්‍රියාකාරීත්වය පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැය 3 1/2 ක කාලයකට සීමා වී ඇත.

    පැය 3 1/2 ක් යනු මිනිත්තු 210 ක කාලයකි. එය තත්පරවලින් සැලකූ විට තත්පර 12,600 කි.

    මේ අනුව පසුගිය සිකුරාදා දිනයේ ගනුදෙනු කාලසීමාව සැලකීමේ දී සෑම තත්පරයකටම වරක් ගනුදෙනු 4.89 ක් සිදුව තිබේ.

    කෙසේවෙතත් මෙලෙස කොටස් වෙළඳපොළ අධික්‍රියාකාරී තත්ත්වයක් පැවතීම තුළ පසුගිය සතියේ දින කිහිපයකදීම අන්තර්ජාලය පදනම් කරගත් ගනුදෙනු මෙහෙයුම් පද්ධතිවල (Online Trading Platforms)  අක්‍රීය වීමක් හෝ මන්දගාමීවීමක් වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමක දී සිකුරාදා (15) ගනුදෙනු ආරම්භයේ මුල් මිනිත්තු 15 - 20 කාලය තුළ තැරැව්කාර සමාගම් කිහිපයක් විසින්ම භාවිත කරනු ලබන අන්තර්ජාලය පදනම් කර ගත් ගනුදෙනු මෙහෙයුම් පද්ධතීන් හි බිඳවැටීමක් සිදුව තිබේ. මෙවන් අවස්ථාවක දී ගනුදෙනුකාර පාර්ශවවලට සිය ඇණවුම්, පරිගණක හෝ ජංගම දුරකතන යෙදවුම් හරහා යොමු කිරීමට අවස්ථාවක් හිමි නොවන අතර ඒවා ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය (ATS - Automated Trading System) හරහා පමණක් යොමු කළ යුතු වේ.

    මෙම දෝෂසහගත තත්ත්වය දෛනික ගනුදෙනු කාලසීමාව තුළ යථාතත්ත්වය පත්ව තිබුණ ද ඇණවුම් පොත් (Order Books), ආයෝජන කළඹ (Portfolio) ආදිය නිසිපරිදි යාවත්කාලීන නොවූ අවස්ථා ද වාර්තා වේ.

    මේ අතර සිකුරාදා (15) දෛනික ගනුදෙනු අතරවාරයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියේ සංඛ්‍යා දත්ත යාවත්කාලීන වීමේ දෝෂයක් ද නිරීක්ෂණය වී ඇත.