පාකිස්තාන – ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනයට ඒකාබද්ධ වැඩසටහනක්

    February, 25, 2021

    පාකිස්තාන සංචාරක අමාත්‍ය සාහිඩ් සුල්ෆිකර් අබ්බාස් මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර හමුවක් ඊයේ (24) සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණි. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව අත්සන් තැබුනු දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අනුව මේ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කෙරුණි.

    පාකිස්තානයේ ප්‍රදේශ ගණනාවක බෞද්ධ උරුමයන්ට අදාළ පෞරාණික උරුමයන්වල නටඹුන් ඇති බවත් ඉපරණි ශිෂ්ඨාචාර වල නටඹුන් සහ බෞද්ධ උරුමයන් නැරඹීමට ශ්‍රී ලාංකික සංචාරකයන් වැඩි උනන්දුවක් දක්වන බැවින් දෙරට අතර ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම හරහා දෙරටේම සංචාරක ව්‍යාපාරය නංවාලීමට හැකි වනු ඇතැයි පාකිස්තාන සංචාරක අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක බුබුලක් ලෙස දෙරටේම සංචාරකයන්ට රටවල් විවෘත කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය.

    පාකිස්තානයේ කරච්චි හා ලාහෝර් සිට ශ්‍රී ලංකාවර සෘජු ගුවන් ගමන් ගමන් සිදු වන අතර එම සෘජු ගුවන් ගමන් ඉස්ලාමාබාද් දක්වා ද ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු වී තිබේ. දෙරටේම සංචාරක සංවිධායකවරුන් දැනුවත් කිරීමටත්, අවබෝධතා ගිවිසුමේ සඳහන් කරුණු කඩිනමින් ඉටු කිරීමටත් සංචාරක අමාත්‍යවරු මෙහිදී තීරණය කළහ.