කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්. සියලු කොටස් ඒකක 263 කින් ඉහළට

    March, 8, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද දිනයේ දී කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගන්නා ලදී. එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 263.94 ක හෙවත් 3.74% ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය. තවද දිනය තුළ දී S&P SL20 දර්ශකය ඒකක 115.12 ක වර්ධනයක් වාර්තා කළේ පෙර දිනය හා සැසඳීමේ දී 4.12%ක ඉහළ යාමක් සටහන් කරමිනි. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,318.43 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2,906.69 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    දිනය තුළ රු. බිලියන 2.71 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 395.87 ක්. ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් රු. මිලියන 315.72 ක්, LOLC හෝල්ඩිංග්ස් රු. මිලියන 264.30 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. මිලියන 201.27 ක් හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 189.59 ක් වශයෙන් දෛනික පිරිවැටුම සඳහා ඉහළ දායකත්වයක් ලබාදුන් සමාගම් අතර පෙරමුණේ විය.

    LOLC හෝල්ඩිංග්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, වැලිබල් වන්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්  හා ඩිස්ටිලරීස් ශ්‍රී ලංකා සමාගම් අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දුන් සමාගම් විය.