March, 16, 2021
ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operating Procedures) ජනගත කිරීම ඊයේ (15) සවස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මෙහෙයවීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකසන ලද මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මගින් මෙරට තුළ අදාළ කර්මාන්ත ක්ෂේත්රයෙහි ආයෝජකයන්ට නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් යටතේ සිය ආයෝජනයන් සිදු කිරීමේ ඉඩකඩ නිර්මාණය වී තිබේ.
වාහන ආනයනය සඳහා මෙරටින් වසරකට පිටරටට ඇදී යන රුපියල් බිලියන 1,820ක විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කර ගැනීම මෙම සම්මත මෙහෙයුම් පටිපාටියේ දීර්ඝකාලීන අරමුණ වේ. මෙම ජනගත කිරීම සංකේතවත් කරමින් 'සම්මත මෙහෙයුම් පටිපාටි සංග්‍රහය' ග්‍රන්ථය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය. ඉන්පසු සංකේතාත්මකව එම ග්රන්ථ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, ප්‍රවාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ට ද පිළිගැන්විණි. උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබූ මෙම උළෙලට පැමිණි සම්භාවනීය පිරිස පිළිගැනීම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා සිදු කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ශ්‍රී ලංකා මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති අසේල ලිහිණිකඩුව , ශ්‍රී ලංකාවේ වාහන උපාංග නිෂ්පාදන කර්මාන්ත සංගමයේ සභාපති දිමන්ත ජයවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.
Video Story