විදේශ ඇමති දිනේෂ් පාකිස්ථාන මහ කොමසාරිස් හමුවෙයි

    March, 17, 2021

    පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ  ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව, ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) මුහම්මඩ් සාඩ් ඛට්ටාක් මහතා ඊයේ (16) විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය.

    පාකිස්ථානයෙන් ප්‍රදානය කරන ලද ජංගම පුස්තකාල ස්ථාපිත කිරීම සහ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සඳහා අතිරේක වෛද්‍ය විද්‍යා ශිෂ්‍යත්ව සියයක් ලබා දීම ඇතුළුව, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ  සංචාරය අතරතුර දී ප්‍රකාශයට පත් කරන ලද ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟ විය.

    පාකිස්ථානයේ බෞද්ධ සිද්ධස්ථාන ශ්‍රී ලාංකිකයන් සඳහා විවෘත කිරීම සාදරයෙන් පිළිගනිමින් අමාත්‍ය ගුණවර්ධන මහතා සඳහන් කළේ, ගුවන් සේවා අංශය ශ්‍රී ලංකා සංචාරක අංශය හා එක්ව නොබෝ දිනකින් පාකිස්ථාන - ශ්‍රී ලංකා ගුවන් ගමන් පැකේජ පිළිබඳව නිවේදනය කරනු ඇති බවයි. හොඳින් සංරක්ෂණය කොට ඇති බෞද්ධ උරුම ස්ථාන නැරඹීම සඳහා පාකිස්ථානයේ හුරුපුරුදු වීමේ සංචාරවල නියැලීමට පැමිණෙන ලෙස පාකිස්ථාන මහ කොමසාරිස්වරයා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට, මාධ්‍යවේදීන්ට සහ විද්වතුන්ට ආරාධනා කළේය.

    මාර්තු 23 වැනි දින කොළඹ දී පවත්වනු ලබන පාකිස්ථාන ජාතික දින සැමරුමට සහභාගී වන ලෙස ද මහ කොමසාරිස් ඛට්ටාක් මහතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ආරාධනා කළේය.