ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රු. 201 ඉක්මවා යයි

    March, 17, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 201.75 ක් ලෙසින් වාර්තා විය. මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 201 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර අද දින ඩොලරයක ගැනුම් මිල ද වාර්තා ගත ලෙස ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණෙමින් රු. 197.58 ක් දක්වා වැඩි වී තිබේ.

    මහ බැංකු විනිමය අනුපාතයන්ට අනුව මීට පෙර ඩොලරයක් සඳහා වූ ඉහළ විකුණුම් මිල 2020 අප්‍රේල් 09 දින වාර්තා වී තිබුණු අතර එය රු. 200.47 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී ලංකා බැංකුව රු. 203.28 ක්, මහජන බැංකුව රු. 207.00 ක්, කොමර්ෂල් බැංකුව රු. 202.90 ක් හා සම්පත් බැංකුව රු. 203.00 ක් ලෙසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.