2020 වසරේ ටෙලිනිර්මාණ අගයන – “රයිගම් ටෙලීස් 2020” ප්‍රකාශයට පත්කෙරේ

    March, 24, 2021

    2020 වසරේ විකාශනය වූ ටෙලි නිර්මාණ ඇගයීම සඳහා වන රයිගම් ටෙලීස් 2020 එනම් 17 වැනි රයිගම් ටෙලීස් උළෙල, එළඹෙන ජුලි මස 03 වන දින අති උත්කර්ෂවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන බව රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය ඉතා සතුටින්  නිවේදනය කරයි.

    මෙම උළෙලට පූර්ගාමීව පැවැත්වෙන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල 2021 ජුනි මස 4 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ.

    උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ දැන් භාරගැනේ.

    වසරක් ගෙවුන සැනින්, ගෙවුනු වර්ෂයේ විකාශය වූ ටෙලි නිර්මාණ අගයා, වසරේ කුළුඳුල් සම්මාන උළෙල පවත්වා වාර්තා තැබූ රයිගම් ටෙලීස්, පැවති වසංගත තත්ත්වය හමුවේ වූවද 2019 වසර සඳහා වූ සම්මාන උළෙල 2020 වර්ෂයේදීම ඉතා සාර්ථකව පවත්වා, 2020 වර්ෂයේදී දිවයිනේ පැවැත්වූ එකම ටෙලි-සිනමා සම්මාන උළෙල ලෙසද වාර්තා පොතට එක්විය.

    ගෙවුනු වසරක රූපවාහිනී අස්වැන්න කෙටි කාල පරාසයකදී ඇගයීම හා සම්මාන උළෙලක් සංවිධානය කිරීම පවතින වාතාවරණය යටතේ කොපමණ අභියෝගාත්මක වූවද, සම්මාන උළෙල අඛණ්ඩව නියමිත දිනට පැවැත්වීමට අප තීරණය කළේ පුංචි තිරය ඔස්සේ රස විඳි නිර්මාණයන් හි උණුසුම වියැකෙන්නට පෙර, ඒවා ඇගයීම නිර්මාණකරුවන්ටත් ඒවා රස විඳි ප්‍රේක්ෂකයන්ටත් එක හා සමාන වැදගත් කමක් හා රසයක් දනවන හෙයිනි. ගෙවුනු වසර සඳහා පවත්වන සම්මාන රාත්‍රිය ප්‍රථම කාර්තුව තුළදීම පැවැත්වීම රයිගම් ටෙලීස් ප්‍රතිපත්තිය වූවද පවතින වසංගත තත්ත්වය හමුවේ අවම ප්‍රමාදයක් සහිතව උළෙල පැවැත්වෙන අතර එම අභියෝගය ජයගත් එකම දේශීය සම්මාන උළෙල රයිගම් ටෙලීස් පමණි. මෙම අභියෝගය ජය ගැනීමත් සමග රයිගම් ටෙලීස් තවත් පියවරකින් ජාත්‍යන්තර ප්‍රමිතියට සමීප වේ.

    රයිගම් ටෙලීස් සම්මාන උළෙල මේ වන විට දශක දෙකකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියයි. එය සංවිධායකවරුන්ට දීර්ඝ අත්දැකීමකි. සම්මාන ලාභීන්ට බලාපොරොත්තුවකි. මෙපමණ කාලයක් පුරාවට අඛණ්ඩව ඉහළම තත්වයේ සම්මාන උළෙලක් පැවැත්වීම අභියෝග ජය ගැනීමකි. ඒ සතුට සහ ශක්තිය අප ශ්‍රී ලාංකික ටෙලි මාධ්‍යය සහ ජනතාව සමඟ බෙදා හදා ගන්නේ මෙවර, සුවිශේෂි  වුද සමස්ත ටෙලි මාධ්‍යයම ආවරණය කරන්නාවුද ජාතියේ ටෙලි සම්මාන උළෙල සංවිධානය කිරීමේ භාරදූර වගකීම ඉතා සාදරයෙන් පිළිගනිමිනි. වසරින් වසර අලුත්වන රයිගම් ටෙලීස්, සම්මානලාභීන් සඳහා නිසි ගෞරවයත් ප්‍රේක්‍ෂක ජනතාවට අපූර්ව අත්දැකීමකුත් සහිතව ඉතා උසස් මට්ටමින් සංවිධානය කරණ බැවින් අතිවිශාල මහජන ප්‍රසාදයක් සහ පිළිගැනීමක් දිනාගෙන ඇත.

     

    රයිගම් ටෙලීස් ආරම්භය හා විකාශනය

    රයිගම් ටෙලි සම්මාන උළෙල ඇරඹෙන්නේ ටෙලි නාට්‍ය කලාව සඳහා සම්මාන පුදකරන ටෙලි නාට්‍ය සම්මාන උළෙලක් ලෙසය. නමුත් ඉතා කෙටි කාලයක් තුළ එය සමස්ත රූපවාහිනි මාධ්‍යයම (සියළු වැඩසටහන්) ආවරණය කරන අංග සම්පුර්ණ ටෙලි සම්මාන උළෙලක් බවට පත්විය. වසරින් වසර විවිධ පැතිකඩ ඔස්සේ ටෙලි නාට්‍ය  කුසලතාවයන් ද ප්‍රේක්‍ෂක අපේක්‍ෂාවන් හා ටෙලි මාධ්‍යය සඳහා උතුම් දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨයන් අගයමින් ද අනන්‍ය ටෙලි සම්මාන අත් දැකීමක් එක්කළ රයිගම් ටෙලි  සම්මානය පසුව  රයිගම්  ටෙලීස්  වෙයි. රයිගම්  ටෙලීස් නමින් සන්නාම ගත කරන්නේ ෆිල්ම් ෆෙයා, ග්‍රැමි වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලක් දක්වා එය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. අප මින් ඉදිරියට රයිගම් ටෙලීස් ගැන කතා කරමු.

     

    රයිගම්  ටෙලීස්, ටෙලිවිෂන්  මාධ්‍යයේ   සියලු   අංශ  ආවරණය   කරයි.   ඊට  ටෙලි නාට්‍ය මෙන්ම   ළමා, ක්‍රීඩා, දේශපාලන, ප්‍රවෘත්ති, වාර්තා, රියැලිටි  සහ  වෙනත්  විවිධ  වැඩසටහන්  සහ  තාක්ෂණ  අංශ  ඇතුලත්ය. එමෙන්ම  රයිගම් ටෙලීිස්  වෙතින්  සම්මානයක්   ප්‍රදානය   කරන්නේ   ජාතික   මට්ටමින්   සළකා  බැලිය  හැකි  කුසලතාවන්  සඳහා  පමණි.  ඒ  සඳහා රයිගම්  ටෙලීස් අනුගමනය  කරන  සම්මතයන්  ඇත. මේ  නිසා  රයිගම්  ටෙලීස්  “ජාතියේ  ටෙලි  සම්මාන”  වෙයි.  රයිගම්  ටෙලීස් සම්මානයට පාත්‍රවන විවිධ අංශ රැසකි. (සම්මාන ලේඛණය මේ සමඟ අමුණා ඇත)

     

    ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

    රයිගම්  ටෙලීස්  උළෙලේ  සම්මාන  පරාසය  පුළුල්  කළද   ටෙලි  නාට්‍ය  සඳහා  ප්‍රදානය  කෙරෙන  සම්මාන  සංඛ්‍යාව  එලෙසින්ම පවත්වාගෙන  යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂ වලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්‍ෂණ  සහ  ටෙලි  නාට්‍ය  නිර්මාණ  කුසලතාවයන්  අගයමින්  වසරේ  විශිෂ්ටතම  ප්‍රාසාංගික,  ඒකාංගික  ටෙලි  නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප්‍රදානය කරනු ඇත.

     

    රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

    පුංචි තිරයේ ජනප්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එහි වැඩිම වේලාවක් අරක්ගත්තේ විවිධ වැඩ සටහන්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත් කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප්‍රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරිමේ හා තාක්ෂණ කුසලතාවයන් වඩ  වඩාත්  දකිනු  රිසියෙන් මෙම  අංශයේ සම්මාන  පුවත්  වාර්තාකරණය,  ප්‍රවෘත්ති   නිවේදනය,  කාලීන  වැඩසටහන්, අධ්‍යාපන,  ළමා, සංගීත, රියැලිටි  හා  දේශපාලන  මෙන්ම  වැඩසටහන්  ඉදිරිපත්  කිරිමේ  (සම්ප්‍රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.

    මෙම සම්මාන උළෙලේදී ප්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් සම්ප්‍රවේශක සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන ප්‍රදානය කෙරේ. නිවේදක හා සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මානයක් දිනා ගන්නා අයෙකුට වසර තුනක් ගත වන තෙක් එම සම්මානය සඳහා නැවත අයඳුම් කළ නොහැක.

     

    ජනප්‍රිය සම්මාන

    සුපුරුදු පරිදි මෙවරත් වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය,  ටෙලි නාට්‍ය නළුවා සහ ටෙලි නාට්‍ය නිළිය ප්‍රේක්‍ෂක ජුරීය විසින් තීරණය කරනු ඇත. අවසානයේදී ටෙලි නාට්‍ය විඳින්නේ මහජනතාවයි. කවුරුන් කෙසේ බැලුවද කෙසේ විශ්ලේෂණය කළද නිර්මාණයක් සාර්ථක වන්නේ ප්‍රේක්‍ෂක ජනතාව එය වැළඳ ගන්නේ නම් පමණි. ඒ බව නිර්මාණ කරුවන්ද අවධාරණය කරගත යුතුය. මේ නිසා තම හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමේ සාධාරණය ප්‍රේක්‍ෂක ජනතාවට ලබා දෙමින් ජනප්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත. මේ සඳහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිවුඩ ීඵී ක්‍රමය ප්‍රථම වරට හදුන්වා දුන්නේ රයිගම් ටෙලි සම්මානයයි. මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, නිළිය ජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක්‍ෂක ජනතාවට අවස්ථාව ලැබේ.

    ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උළෙල පිළිබඳ යාවත් කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත්, Raigam Tele’es නමින් ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) ද ක්‍රියාත්මක වේ. මෙම යෙදවුම Play Store හරහා බාගත කර ගත හැක. 2021 ජුනි මස 04 දින සිට 2021 ජුලි මස 02 දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම ීඵී මත විමසුම විවෘතව පවතී. SMS යොමු කළ යුතු දුරකථන අංක ජන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ඇත.

     

    ජනගත සම්මාන කුලකය

    මෙවර සම්මාන උළෙල සඳහා අලුතෙන් හඳුන්වාදුන් සම්මාන කුලකයකි. ජනප්‍රිය සම්මාන සඳහා ජයග්‍රාහකයන් ප්‍රේක්ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වසර තුළ විකාශය වූ වැඩසටහන් අතුරෙන් වඩාත්ම ජනගත වූ ටෙලිනාට්‍යය, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය සමීක්ෂණ දත්ත සහ නැරඹුම්වාර පදනම් කරගෙන පිළිගත් ක්‍රමවේදයකට අනුව තීරණය කරනු ඇත.

     

     

     

     

    ප්‍රණාම සම්මාන

    රූපවාහිනී ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා උතුම් දායකත්වයක් ලබාදුන් කලා ශිල්පීන් හා පුරොගාමීන් සඳහා ප්‍රණාම සම්මාන ප්‍රදාානය කිරීම රයිගම් ටෙලිස් සම්මාන උළ්ලේ සුවිශේෂී අංගයකි. මේ දක්වා ප්‍රණාම සම්මාන ලැබූවන්  අතර  රූපවාහිනී  කලා  මාධ්‍යයේ  ඡේ්‍යෂ්ඨයන් මෙන්ම රූපවාහිනි තාක්‍ෂණය ශ්‍රී ලංකාවට  හඳුන්වාදීමේ  පුරෝගාමී  මෙහෙවරක්  ඉටුකල  වූවන්ද  විය.

    මෙම සම්මාන කුලකය යටතේ 2007 වර්ෂයේදී හඳුන්වාදුන් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උළෙලකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙම සම්මානය ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන්නකි. පසුගිය සම්මාන උළෙලේදී  ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස්  මැතිණියගේ සේවය මේ යටතේ අගයන ලදි.

     

    රූපවාහිනී නාලිකා ඇගයීම

    සම්මාන උළෙළේදී ටෙලි නාට්‍ය අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ ටෙලිනාට්‍ය නාලිකාව’ ලෙසද අනිකුත් මාධ්‍ය වැඩසටහන් සඳහා වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ රූපවාහිනි මාධ්‍ය වැඩසටහන් නාලිකාව’ ලෙසද සම්මානයට පාත්‍ර වනු ඇත.

    සම්මාන උළෙලේදී සමස්ත වශයෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවක් ඡයග්‍රහණය කරන රූපවාහිනී නාලිකාව වසරේ සම්මානනීය නාලිකාව ලෙස අභිෂේක ලබනු ඇත. වසරේ සම්මානනීය නාලිකාව තීරණය කිරීම උදෙසා වඩාත් විනිවිද පෙනෙන දර්ශකයක් භාවිත කරන, එකම සම්මාන උළෙල මෙයයි.

     

    නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල Raigam Tele'es Nominations Evening

    ශ්‍රී ලංකාවේ සම්මාන උළෙල සංස්කෘතියේ විප්ලවීය වෙනෙසක් සිදුකරමින් සම්මාන සඳහා නිර්දේශිත නාම කල් ඇතිව ප්‍රසිද්ධ කිරිමේ උත්කර්ෂවත් උළෙළක් පැවැත්වීම රයිගම් ටෙලිස් විසින් හඳුන්වාදෙන ලදී.

    මෙවර සම්මාන උළෙල සඳහා නිර්දේශීත නාම ප්‍රසිද්ධ කිරිමේ උළෙල  Raigam Tele'es Nominations Evening නමින් 2021 ජුනි මස 04 වැනි දින සන්ධ්‍යාවේදී කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනු ඇත.

     

    සම්මාන උළෙල

    සම්මාන උළෙල ඉතා උත්කර්ෂවත් ලෙස, සම්මානයේ අභිමාණය රැකෙන පරිදි සංවිධානය කර ඇති අතර රාජ්‍ය අනුග්‍රහයද මේ සඳහා නොමදව ලැබේ. රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ කලා ශිල්පීන්, නාලිකා ප්‍රධානීන් ඇතුලු මාධ්‍යයේ සියලු කොටස්රුවන් එකට මුණ ගැසෙන මෙම රාත්‍රිය අමතක නොවන අත්දැකීමක් වනු ඇත. සජීවී ලෙස උළෙල  නැරඹීම ආරාධිතයන්ට  පමණක්  සීමා  වන  අතර  පසුව  එය රූපවාහිනි මාධ්‍ය ඔස්සේ නැරඹීමට සමස්ථ මහ ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

     

    විනිශ්චය මණ්ඩලය

    මෙවර විනිශ්චය මණ්ඩලය සඳහා විවිධ අංශ නියෝජනය වන පරිදි දස දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් පත්කර ඇති අතර ඔවුන්  බොහෝ දෙනා මෙම උළෙලේත් වෙනත් සම්මාන උළෙලවලත් විනිශ්චය අත්දැකීම් ලැබුවන් වේ. තවද මැදහත් සිතින් නිර්මාණ විශ්ලේෂණය කිරීම උදෙසා රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ නොවන නියෝජනයක්ද ජූරී සභාවට ඇතුලත් වේ. මෙවර විනිශ්චය මණ්ඩල ප්‍රධානත්වය දරන්නේ සම්මාන ලාභී විද්වතෙකු, ලේඛකයෙකු මෙන්ම කලා නිර්මාණ ඇගයීමේ විෂයයෙහි ප්‍රවීනයෙකු වන බුද්ධදාස ගලප්පත්ති මහතාය. සෙසු විනිශ්චය මණ්ඩල සාමාජිකයන් වන්නේ මහාචාර්ය ආරියරත්න කලුආරච්චි, ටෙළි නිර්මාණ කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන රවින්ද්‍ර ගුරුගේ, ප්‍රවීන සිනමා කැමරා අධ්‍යක්‍ෂක ජයනාත් ගුණවර්ධන, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඡේ්‍යෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ, ප්‍රවීන සිනමා විචාරක ගුණසිරි සිල්වා, ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක රංග දසනායක හා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාfවීදී අරුණ ගුණරත්න, මහාචාර්ය අජන්තා හපුආරච්චි යන මහත්ම මහත්මීන්ය. දමිළ මාධ්‍යය සම්බන්ධ විශේෂ උපදේශක ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අබ්දුල් හමීඩ් මහතා කටයුතු කරයි.

     

    කලාකරුවන්ට පිදෙන දහසින් බැඳි පියළි

    අපේ රටේ පැවැත්වෙන සියලුම සම්මාන උළෙලවල් අතරින් සම්මාන ලාභීන්ට ඉහළම වටිනාකමකින් යුත් තිළිණ ප්‍රද්‍රනය කරන්නේ රයිගම් ටෙලීස් උළෙලයි.

     

    මේ යටතේ සම්මාන ජයග්‍රණය කළ ද නොකළ ද සියලුම නිර්දේශ ලාභීන් සඳහා වර්ෂයක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමග රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරනයක් තිළිණ කරන ලදි.

    මෙවරද සියලු නිර්දේශලාභීන්ට හිමිවන වරප්‍රසාද වලට අමතරව, රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 25 ක් ඉක්මවන මුදල් ත්‍යාග පිරිනැමේ.

    පසුගිය වසර 10 මුළුල්ලේ උළෙලේ සම හවුල්කාරීත්වය දරණ සම්පත් බැංකුවේ දායකත්වය සහ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙලේ පූර්ණ අනුග්‍රාහකත්වය දරණ මොබිටෙල් හි දායකත්වය ස්තුති පූර්වකව සිහිපත් කරමු.

     

    නිර්දේශලාභීන් සඳහා රක්ෂණ ආවරණ තිළිණ කරන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි.

     

     

    උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන නිර්මාණයන් මෙසේය

    1. 1. ටෙලි නාට්‍ය - 2020 වර්ෂය තුලදී අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලිනාට්‍ය වේ.
    2. 2. වෙනත් නි්ර්මාණ - 2020 වර්ෂය තුලදී ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රථම වරට විකාශය වී තිබිය යුතුය. නැවත විකාශනය කළ නිර්මාණ සලකා නොබැලේ.
    3. 3. කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වු නිර්මාණ සහ හඬකැවීම් ඇතු`ඵ කිසිදු විදේශ නිර්මාණයක් (හඬකැවීමේ වැඩසටහන උදෙසා වන සම්මානය සඳහා හැර) මෙම උළෙල සඳහා සුදුසුකම් නොලබයි.
    4. 4. වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාාල නාලිකාව මඟින් හෝ තනිව අයදුම් කළහැකිය.
    5. 5. ප්‍රවෘත්ති නිවේදක සහ සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මාන ලබන ඕනෑම ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට එම සම්මානය සඳහා නැවත අයදුම් කළ හැක්කේ වසර 03 ක් ගතවීමෙන් අනතුරුවය.

     

    අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම

    උළෙල සඳහා ඉදිරිපත් කරන නිර්මාණ නිසිපරිදි සම්පූර්ණ කල අයදුම් පත්‍රයක්ද සමග යොමු කළ යුතුවන අතර අයදුම්පත් තම නාලිකාවලින්, පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් හෝ www.raigamtelees.lk  පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

    රයිගම් ටෙලීස් 2020 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2021 අප්‍රේල් 10 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් 0707 061 508 හෝ 0707 061 602 අංක මඟින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී.

     

     

    අයදුම්පත් සමඟ තම නිර්මාණ VOB හෝ MPEG වර්ගයේ සංයුක්ත තැටි (CD) සංක්‍යාත වීඩියෝ තැටි (DVD) මඟින් පහත සඳහන් ලිපිනය වෙත භාරදිය යුතුය,

     

    රයිගම් ටෙලීස් නිර්මාණ බාරගැනීමේ විශේෂ කාර්යාලය,

    ■             Lapro Technology, අංක 25, බිම් මහල, ලකී ප්ලාසා ගොඩනැගිල්ල,කොළඹ 03.

    ■             FOX ප්‍රදර්ශනාගාරය, අංක 273/1, හෙලන්ස් ගොඩනැගිල්ල , පළමු මරදාන, කොළඹ 10.

    ■             FOX ප්‍රදර්ශනාගාරය, හොරණ පාර, කොට්ටාව. (කොට්ටාව කීල්ස් වෙළඳසැල ඉදිරිපිට)