බ්‍රැන්ඩික්ස් සාමාජිකයන් වෙතින් කෝවිඩ්-19ට එරෙහිව සටන් කරන රෝහල්වලට කෘතවේදී ප්‍රත්‍යෝපකාරයක්

    March, 31, 2021

    ලක්ෂ පහකට ආසන්න ආරක්ෂිත ඇඳුම් කට්ටල හා ආරක්ෂිත මුඛ ආවරණ දෙලක්ෂ පනස් දහසක් පරිත්‍යාග කරති

    කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානයන් හි සේවයේ නියුතු පිරිස් වෙත ස්තුති පුද කිරීමක් ලෙස, ශ්‍රී ලංකාව පුරා පැතිර පවතින බ්‍රැන්ඩික්ස් සමූහයේ  කර්මාන්තශාලාවන්හි සේවය කරන සාමාජිකයන්  අපනයන ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත ඇඳුම් කට්ටල හා මුඛ ආවරණ (PPE) නිෂ්පාදනය කිරීමට එක්වූහ. මෙම රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත PPE කට්ටල පරිත්‍යාග කිරීම පසුගිය සති කිහිපය  තුළදී බ්‍රැන්ඩික්ස් සාමාජිකයන් විසින් සිදු කරන ලදි.

    කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී බරපතල සෞඛ්‍ය අවදානම් සඳහා මුහුණ දෙන සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලවෙත කෘතවේදී සහාය පළකිරීමක් ලෙස, බ්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයන් අපනයන ප්‍රමිතියේ ආරක්ෂිත ඇඳුම් කට්ටල 490,000 ක් හා මුඛ වැසුම් 250,000ක් නිෂ්පාදනය කළහ. එම ඇඳුම් කට්ටල හා මුඛ වැසුම් බෙදා දීමට පෙර බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහල විසින් භෞතික හා ක්ෂුද්‍ර ආසාදන පරීක්ෂණ පවත්වා නිසි ප්‍රමිතියට පවතින බවට සහතික කර අනුමැතිය ලබා දී තිබේ. රෝහල් 23ක් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාග කළ අතර, රෝහල් 9ක් වෙත මුඛ වැසුම් පරිත්‍යාග කිරීම ද බ්‍රැන්ඩික්ස් සාමාජිකයන් අතින් සිදුකෙ‍රිණි.

    “කොවිඩ්-19 වසංගතය මීට පෙර අපි අසා දැක නොමැති රෝගී තත්ත්වයක්. කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයින් මෙම රෝගයට ගොදුරු වීමේ විශාල අවදානමක් තිබෙනවා. කොවිඩ් - 19 රෝගයට ගොදුරුවී ප්‍රතිකාර ලබන අතර තුර සෞඛ්‍ය සේවක පිරිස් රෝගීන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කරන සුවිසල් කැපකිරීම දැකගන්නට මට පුළුවන්කම ලැබුනා. මට ඔවුන් ගැන සැබෑ ආඩම්බරයක් දැනෙන්නට ඔවුන්ගේ කැපවීම දැකගන්නට ලැබීම හේතු වුනා වගේම අප විසින් ඔවුන් වෙත නිසි ප්‍රමිතීන්ට අනුව නිපදවූ හොඳම ආරක්ෂිත ඇඳුම් කට්ටල හා මුඛ වැසුම් ලබා දෙමින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට හැකිවීම මගේ හිතට ආඩම්බරයක්.” යනුවෙන් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවක  පුහුණු නිලධාරිනියක ලෙස සේවය කරන නිලංකා ප්‍රනාන්දු පවසා සිටී.

    කොළඹ අයි. ඩී. එච්. රෝහල, හෝමාගම රෝහල සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල, මඩකළපුව පූනානි රෝහල සහ කෑගල්ල රඹුක්කන රෝහල ඇතුළු තවත් කොවිඩ් ප්‍රතිකර්ම රෝහල් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාගයන් සිදු වූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත හා නිවිතිගල රෝහල්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කැගල්ල රෝහල හා වරකාපොල රෝහල සහ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු තවත් රෝහල් ආරක්ෂිත මුඛ වැසුම් පරිත්‍යාගයන්හි ප්‍රතිලාභීන් විය.

    ඡායාරූපය: ශ්‍රී ලංකාව පුරා විහිදී පවතින බ්‍රැන්ඩික්ස් සමූහයේ කර්මාන්තශාලාවන්හි සේවයෙහි නිරත සාමාජිකයන් නිෂ්පාදනය කළ PPE සහ මුඛ වැසුම් එම ප්‍රදේශයන්හි රෝහල් වෙත පරිත්‍යාග කළ ආකාරය.