හාල් අලෙවියෙන් සතොසට ලක්ෂ 670 ක අලාභයක්

    November, 4, 2021

    අඩු මිලට සහල් අලෙවි කිරීමෙන් පමණක් පසුගිය මාසයේ තුළ දී සතොසට රුපියල් මිලියන 67 ක අලාභයක් සිදුව ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (04) පෙරවරුවේ විකාශය වූ Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන හා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මේ අතර සහල් මිල පාලනය කිරීම සඳහා පිටරටින් සහල් ගෙන්වීමේ තීන්දුවට ජනාධිපතිතුමන් තරයේ විරුද්ධ වූ බවත්, සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූයේ එතුමා කැබිනට් මණ්ඩලයේ නොසිටි දවසක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී අනාවරණය කළේය.

    “අතිගරු ජනාධිපතිතුමා නිතරම කිව්වේ අර ප්‍රතිපත්තියේ ඉන්න, හාල් අපි පිටරටින් ගේන්නේ නැහැ. ජනාධිපතිතුමා ඉතාම පිරිසිදු චේතනාවෙන් ගොවියාගේ පැත්තෙන් කරපු තීන්දුවක්නේ. එතුමා කියනවා, අපේ රටේ ගොවියාටයි සල්ලි යන්නේ. වෙන රටක ගොවියෙක්ට නෙමෙයි සල්ලි යන්නේ. ඒක නිසා කොහොම හරි මේ මිල තියාගන්න බලන්න කියලා. එතුමා නැති දවසක තමයි කැබිනට් මණ්ඩලය මේ ගෙන්නන තීන්දුවත් ගත්තේ. අතිගරු ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා කැබිනට් පත්‍රිකාවක්වත් ගේන්න එපා, හාල් ගෙන්වන්න ඉඩදෙන්නේ නැහැ කියලා. එතුමාගේ තීරණයට මම කිසිම දොසක් කියන්නේ නැහැ. එතුමා ඇත්ත වශයෙන්ම මේ තීන්දුව ගත්තේ රටේ ගොවි ජනතාවගේ පැත්තෙන් හිටගෙන.“