November, 8, 2021
කොළඹ කොටස් වෙළෙඳපොළට අද (08) දිනය වඩාත් කාර්යබහුල දිනයක් විය. දිනය තුළ මිල දර්ශකයන් හි ඉහළ උච්ඡාවචනයන් දක්නට ලැබුණු අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10.81 කින් පහළ ගොස් ඒකක 10,621.40 ක් ලෙසින් සටහන්ව තිබුණි. දිනයේ ගනුදෙනු ආරම්භ වී එක් අවස්ථාවක දී ඒකක 300 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 14.71 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 3,649.91 ක් ලෙසින් වාර්තා විය.
අද දිනයේ දී රු. බිලියන 8.26 ක ගනුදෙනු පිරිවවැටුමක් වාර්තා වූණි.
දිනය තුළ දැකගත හැකි වූ සුවිශේෂී සිදුවීමක් වූයේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන LOLC FINANCE PLC හි කොටස් මිල පෙර දිනයට සාපේක්ෂව 69.92% කින් ඉහළ යාමයි. පෙර දිනයේ දී රු. 12.30 ක් ලෙසින් ගනුදෙනු අවසන් කළ LOLC FINANCE PLC හි කොටසක අද දින අවසන් ගනුදෙනු මිල සටහන් වූයේ රු. 20.90 කි ලෙසිනි.

එසේම අද දිනය තුළ LOLC FINANCE PLC කොටස් මිලියන 182 ක් හුවමාරු වීම කැපී පෙනෙන කරුණකි. මේ අනුව දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය ද LOLC FINANCE PLC කොටස් ගනුදෙනුවලින් ලැබී තිබුණු අතර එය රු. බිලියන 3.14 කි. මීට අමතරව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි රු. බිලියනයක වටිනාකමකින් යුතු කොටස් අද දින හුවමාරු වී තිබුණි.

Video Story