November, 10, 2021
ලබන 12 වැනිදා ප.ව 2.00 ට ගරු මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 10 වන දින දක්වා අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ විවාදයට සහභාගී වන කථික මන්ත්‍රීවරයන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට පසුගිය දා (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ආරක්ෂාව ඇතුළු අයවැය කාල සීමාවට අදාළ කටයුතු පිළිබඳව ද සාකච්ඡා විය.
මේ අනුව අයවැය කාල සීමාව තුළ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා ලබා දෙන කාලය උපරිම විනාඩි 10 කට සීමා කිරීමට මෙහිදී තීරණය වී ඇත.
තවද අයවැය කාල සීමාව තුළ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව සඳහා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දිනක් හැර දිනක් පිළිවෙලින් අවස්ථාව ලබා දීමට තීරණය වී ඇත. යම් ආකාරයකින් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් නොවුනහොත් අයවැය විවාදය ප.ව. 5.30 දක්වා පැවැත්වීමට ද මෙහිදී එකඟ වී ඇත.
තවද ආයතන හා ක්ෂේත්‍ර කිහිපයක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව පළ කළ 2021 ඔක්තෝබර් 29 දිනැති අංක 2251/64 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශනය හෙට (10) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව පසුගියදා මෙම ගැසට් පත්‍රය පළ කෙරිණි.
Video Story