November, 26, 2021
විශේෂඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යාපාරික නායකයින්, දේශපාලනඥයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ආදී වශයෙන් 150 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ගෝලීය නව ආර්ථික සංසදයේ සමාරම්භක සැසිය 2021 නොවැම්බර් 22 වැනි දින අතථ්‍ය අයුරින් බ්‍රසීලයේ දී පවත්වන ලදි.
ගෝලීය නව ආර්ථික සංසදය බ්‍රසීලයේ මුලපිරීමක් වන අතර එමගින් ගෝලීය ආර්ථිකයට කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එල්ල වූ ඍණාත්මක බලපෑම් සමනය කිරීම සඳහා උපාය මාර්ග සැකසීමට විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්රැස් කිරීම සඳහා නව වේදිකාවක් සපයනු ලැබේ.
ගෝලීය නව ආර්ථික සංසදයේ සමාරම්භක සැසිවාරය ඇමතූ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් හානියට පත් වූ ආර්ථිකයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍ය සහ වෙනත් ආධාර ලබා දෙන ලෙස සංවර්ධිත රටවල් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතනවලින් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ග වන ඇඟලුම් සහ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය, සංචාරක කර්මාන්තය සහ විදේශ ප්‍රේෂණ යනාදිය කෙරෙහි 2020 වර්ෂයේ සිට අහිතකර බලපෑම් එල්ල වූ ආකාරය පිළිබඳව ද තානාපතිවරයා අවධාරණය කළේය.
බ්‍රසීලයේ හිටපු ජනාධිපති මයිකල් ටෙමර් මහතා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඒකාබද්ධ ප්රයත්න දැරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේ ය. ඇමසෝනාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර විල්සන් ලීමා මහතා වසංගතය මැඩ පැවැත්වීම සඳහා පුද්ගල කේන්ද්‍රීය ප්රවේශයන් ආරම්භ කරන ලෙස අවධාරණය කළේ ය. මැනෝස් හි නගරාධිපති ඩේවිඩ් අබිසායි මහතා සහ නොයෙක් දේශකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ. චීනය, ඔස්ට්‍රියාව, ඉතාලිය, ඊජිප්තුව, රුසියාව සහ බොහෝ දකුණු ඇමරිකානු රටවල තානාපතිවරුන් ඇතුළුව බ්‍රසීලය සඳහා අක්ත ගන්වා ඇති දූත මණ්ඩල ප්‍රධානීන් 35 දෙනෙකුට අධික පිරිසක් මෙම සැසිය ඇමතූහ.
Video Story