හැලි අරක්කුවලින් විස්කි. යාපනයට ‘පැරඩයිස් අයිලන්ඩ්‘ එකක්. මුහුද ගොඩකරලා සත්තු වත්තක් – ආර්ථිකය ගොඩගන්න උද්දිකගෙන් නව අදහස් රැසක්

    November, 26, 2021

    නව අදහස් නිවැරදි ලෙස ග්‍රහණය කර ගත හැකි වුවහොත් ශ්‍රී ලංකාවට මුදල් ඉපයීම අසීරු දෙයක් නොවන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි. ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. වැදගත් වන්නේ අදහස මිස පුද්ගලයා නොවන බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කියලා කියනවා. මම හිතනවා ඒක නිවැරදි කරන්න ඕනේ. අලුත් අලුත් දෑ නොතකන ජාතිය, අලුත් අදහස්වලට ගරු නොකරන ජාතිය කවදාවත් අනාගතයේ ජයග්‍රහණය කළේ නැහැ. අපිට පුද්ගලයන් වැදගත් වෙන්නේ නැහැ. පුද්ගලයාගේ අදහස තමා වැදගත් වෙන්නේ.

    ඒ නිසා තමයි කාල්මාක්ස් ව අපිට මතක හිටින්නේ, පුද්ගලයෙක් විදියට වඩා කාල් මාක්ස්ගේ අදහසයි අදත් ලෝකේ පවතින්නේ. ඒක තමා වැදගත් වෙන්නේ. අදහස තේරුම් ගන්න පුළුවන් ජාතියක්, අදහසට වටිනාකමක් එකතු කරන්න පුළුවන් ජාතියක් අපි ලෝකේ නිර්මාණය කරන්න ඕනේ. එතකොට මේ වහල් මානසිකත්වයෙන් අපිට මිදෙන්න පුළුවන්. පිටරටින් දේවල් ගෙන්වන එක නෙමයි ප්‍රශ්නේ.

    පිටරටින් දේවල් ගේන්න හිතෙන එක සහ ඒ දේවල් පරිහරණය කරන්න හිතෙන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා තමයි අපි හැමදාමත් පිටරටින් දේවල් එනකන් බලාගෙන ඉන්නේත නමුත් අපි එහෙම ජාතියක් නෙමෙයි.

    මට මතකයි වරින් වර මේ සභාවේ අපේ ඩයනා මන්ත්‍රීතුමිය ගංජා ගැන කතා කරනවා. අපි කතා කරන්නත් අකමැති නමක්. නමුත් මම හිතනවා ආර්ථික භෝගයක් විදියට, අපේ රටේ මේ හැමදාම කතාකරන ඩොලර් ප්‍රශ්නය, ආර්ථික ප්‍රශ්නයට ඉතාම හොඳ විසඳුමක් විදියට ඒ අදහස තේරුම් ගත්තොත් අපිට අපේ රට ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන්.

    ඒ වගේම දැක්කා අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා කසිප්පු ගැන කතාකරලා තිබ්බා. මීට පෙර අපි පාර්ලිමේන්තුවට එන්නත් කලින් ගාමිණී ෆොන්සේකා මහත්මයාත් ඒ ගැන මම හිතනවා කතා කරලා තිබ්බා. ලෝකේ මම දැක්කා ආර්ථික විද්‍යාඥයෙක් ලංකාවේ කියලා තියෙනවා කසිප්පු සම්බන්ධව, හැලි අරක්කු විදියට තමා ලෝකේත් ඒක හඳුන්වලා තියෙන්නේ මුල් වතාවේ.

    ඊට පස්සේ තමයි විස්කි විදියට මුළු ලෝකෙටම ව්‍යාප්ත වෙන්නේ. එැවැනි වූ අදහස් අපි හරියට ග්‍රහණය කරගත්තොත් ඒ අදහසට අපි ගරුත්වයක් දැක්වුවොත් මම හිතනවා අපේ රටට මුදල් ඉපැයීම ඒ තරම්ම අසීරු කාරණාවක් නෙමෙයි. තවත් අලුත් අදහස් කිහිපයක් මම ඉදිරිපත් කරන්න කැමතියි.

    අපිට පුළුවන් යාපනේ තියෙනවා දූපත් ගණනාවක්. ඒ එක දූපතක අපිට පැරඩයිස් අයිලන්ඩ් එකක් නිර්මාණය කරන්න පුළුවන්. ලෝකේ මුදල් නාස්ති වෙන විනෝද වෙන ඕනතරම් පිරිසක් ඉන්නවා අපිට වඩා සල්ලි තියෙන. ඒගොල්ලන්ට හිතුමතේ මුදල් වියදම් කරලා එන්න පුළුවන්. ඒ අයිලන්ඩ් එකක එවැනි වූ පරිසරයක් නිර්මාණය කළොත්. ඒක අපේ සංස්කෘතියට බාධාවක් වෙන්නේ නැහැ. මොකද රටෙන් පිට තියෙන්නේ.

    තවත් අදහසක් ඉදිරිපත් කරනවා නම්, අපිට පුළුවන් පෝර්ට් සිටියට වගේ මුහුද ගොඩකරලා Zoo එකක් හදන්න. අපි දෙහිවල සත්වෝද්‍යානයේ සත්තු හිරකරලා තියාගන්නවාට වඩා, අපිට මුහුදේ සත්වෝද්‍යානයක් හැදුවොත් ඒක ලෝකේ පළවෙනි මුහුදේ මිනිස්සු විසින් නිර්මාණය කරපු සත්වෝද්‍යානය. අන්න ඒ වටිනාකම බලන්න සංචාරකයෝ බොහෝ දෙනෙක් අපේ රටට එයි. අන්න එතකොට මුදල් ඉපයීම අපිට ප්‍රශ්නයක් නෙමෙයි.

    අපි දළ දේශීය නිෂ්පාදනය ගැන කතා කරන කොට, භූතානය කතා කරන්නේ දළ දේශීය සතුට. ඒ මිනිස්සුන්ගේ සතුට සම්බන්ධව ඒගොල්ලෝ කතාකරන්නේ. ඒක තමයි ideologically වටිනාකම කියලා කියන්නේ. ඒ නිසා අදහස්වලට ගරු කිරීම අදහස්වලට වටිනාකමක් දීම අපේ රටේ නිශ්චිත වශයෙන් අපි කළ යුතුයි. ඒ වගේම අපේ රටට අවශ්‍ය කරනවා මාස්ටර් ප්ලෑන් එකක්. අවුරුදු 25 ක 30ක මාස්ටර් ප්ලෑන් එකක් ඇතුළේ තමයි අපේ රට ගොඩනගන්න වෙන්නේ. එතකොට අවුරුදු 5 න් 5 ට පත්වෙන ආණ්ඩුවලට මේ රටේ පැවැත්ම, ආර්ථික දේශපාලනික ක්‍රියාවලිය වෙනස්කරන්න අවශ්‍ය නැහැ.