ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් සමාගම්වලට වෙන්නේ අලාභයක් – ලාෆ්ස් ගෑස් සභාපති

    November, 29, 2021

    මේ දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධ ගිනිගැනීම් හා පිපිරීම් කිහිපයක්ම වාර්තා වීම හේතුවෙන් ඊට හේතූ ලෙස ගෑස්වල සංයුතිය වෙනස් කිරීම පිළිබඳ චෝදනාවක් ගෑස් සමාගම් වෙත එල්ල වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසුවේ එවැනි සංයුතිය වෙනස්කිරීමකින් කිසිදු වාණිජමය වාසියක් සිදුනොවන බවයි. තවද තම සමාගම කිසිදු ආකාරයකින් එලෙස ගෑස් සංයුතුයේ වෙනසක් සිදුකර නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

    “මේ සමාගම්වලට මේ සංයුතිය වෙනස් කරන්න ඕනෑද. ප්‍රොපේන් තමයි වැඩියෙන්ම ගණන්. අපිට වාණිජමය වශයෙන් වාසියක් ලබා ගන්නවා නම් අපිට ඕනේ බියුටේන් තමයි අපි වැඩි කරන්න ඕනේ. ප්‍රොපේන් සංයුතිය වැඩි කිරීමෙන් සමාගම්වලට අලාභයක් මිසක් ලාභයක් වෙන්නේ නැහැ“, යනුවෙන් වෑගපිටිය මහතා පැවසීය.

    මෙරට LP ගෑස් සිලින්ඩරයක් සංයුතිය බියුටේන්  70% ක් හා ප්‍රොපෙන් 30% ක් වශයෙන් තිබිය යුතු අතර වර්තමානයේ දී එල්ල වන චෝදනාව නම් එම සංයුතිය 50:50  ක් ලෙස වෙනස් කර ඇති බවකි.

    “මේ රටේ ද්‍රව පෙට්‍රොලියම් ගෑස් අලෙවිය පටන් ගත්තේ 1960 ගණන්වල ලංකාවේ පිරිපහදුව හදලා, කොළඹ ගෑස් සමාගමෙන්. ඊට පස්සේ ෂෙල් සමාගමට ගියා දැන් රජයට අයිතියි. එදා ඉඳන්ම පැවතුණේ 70:30 අනුපාතය. අපි එහෙම සංයුතිය වෙනස් කිරීමක් කරලා නැහැ“, යනුවෙන් වෑගපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.