November, 30, 2021
ඩොලර් මිලියන 300ක රන් සංචිතය ඇතුළුව විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටී ඇති බවට විපක්ෂය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප නොකළ බව සඳහන් කළ ඉරාන් වික්‍රමරත්න මහතා මෙය මසක ආනයන අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන ඉතිහාසයේ අඩුම සංචිත ප්‍රමාණය යැයි පැවසීය
මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන හිඟයක් මතුවන බවත් ඉදිරියේදී රටේ විදුලිය විසන්ධි වීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ඉතිහාසයේ මුල්වරට තෙල් පිරිපහදුව ද වසා තබා ඇති මේ මොහොතේ කල් වේලා ඇතිව රට දැනුම්වත් කරන්නේ නම් නිෂ්පාදකයන් හා ව්‍යාපාරිකයන් පූර්ව සූදානමකට යොමුවිය හැකි බව කීය.
මේ රජය බලයට පත්වන විට ඩොලර් බිලියන 7 ක් පමණ වූ විදේශ සංචිතය අද වන විට ඩො බි. 1.2 දක්වා අඩුවූයේ මේ රජය රාජ්‍ය පාලනයට වඩා සහචරයන්ට සහන දීම මුල් කොට සැලකූ නිසාය.
පකිස්තානය , නේපාලය, මාලදිවයින මියන්මාරය වැනි ආසියානු රටවල් අතුළු රටවල් 80 ට කෝවිඩ් හදිසි අවශ්‍යතා ආධාර වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා දී ඇති බව වාර්තා වූවද ශ්‍රී ලංකාවට එම ණය ආධාර ලැබුණේ දැයි වසරකට පෙරාතුව පාර්ලිමේන්තුවේ ඇසූ ප්‍රශ්ණයට අදටත් රජයෙන් පිළිතුරක් නැතැයි කී ඉරාන් වික්‍රමරත්න මහතා මෙම ආධාර ලංකාවට නොලැබුණේ අපගේ විදේශ සංචිත මුදල් අඩුවීම හේතුවෙන් ලංකාවට ණය ආපසු ගෙවීමේ හැකියාවක් නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමානය කළ නිසා බව ප්‍රකාශ කළේය.
රට මුහුණ දෙන ගැටලුවලට කාලෝචිත පිළියමක් ලෙස යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන ලද තෙල් මිල සූත්‍රය විවේචනය කර එය අවලංගු කළ වත්මන් රජය දැන් එය රටට හොඳ යැයි කීමෙන් ඔවුන්ට ආර්ථික කළමනාකරණය හා රාජ්‍ය පාලනය ගැන නිසි අවබෝධයක් නැති බව ඔප්පුවන්නේ යැයි අවධාරනය කළේය.
මෙහිදී වැඩි දුරටත් කථා කළ මන්ත්‍රීවරයා මෙසේ කීවේය.
"ආසියාවේ අපට වඩා දුප්පත් රටවලට පවා මූල්‍ය අරමුදලෙන් ලැබුණු මේ කෝවිඩ් හදිසි ආධාර ලංකාවට නොලැබුණේ විදේශ සංචිතය කඩා වැටී තිබෙන සංදර්භයක ආර්ථිකයේ විශාල ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ තක්සේරුව නිසාය. එහෙත් රජය දේශීය වශයෙන් දත්ත සඟවන ක්‍රම වේදයක් අනුගමනය කළ ද ජාත්යන්තර මූල්‍ය අරමුදල ඇතුළුව ආධාර දෙන රටවල් හා සංවිධාන මේ බව අවබෝධයකින් සිටින බැවින් රටට ආධර නොදී සිටී."
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ප්‍රශ්ණයක් ඇසු විට එය කල් දැමිය හැක්කේ දෙවතාවක් පමණි. එහෙත් රජය තවම දත්ත එකතු කරමින් සිටිනවා යැයි රටත් ජනතාව රැවටීමේ නිරත වූ වද රට මුහුණ දෙන බැරෑරුම් තත්ත්වයට එය විසඳුමක් නොවන බව වටහා ගෙන ජනතාවට සත්ය ප්‍රකාශ කර පූර්ව සූදනමකට ජනතාව යොමු කිරීම රජයේ වගකීම යැයි ඉරාන් වික්‍රමරත්න මහතා රජයට අනතුරු ඇඟවීය.
Video Story