අයවැය සුභවාදීයී, ලිහිසි තෙල් වෙළෙඳපොළට නියාමනයක් අවශ්‍යයි – කිෂූ ගෝමස්

    November, 24, 2015

    වර්තමානයේ දී රටේ ලිහිසි තෙල් වෙළෙඳපොළ සමාගම් අතලොස්සක් විසින් පාලනය කරනු ලබන බවත් එබැවින් ලිහිසි තෙල් වෙළෙඳපොළ විවෘත කිරීමට තම යෝජනා කරන බවත් පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

    මේ පිළිබඳව අද දෙරණ Biz , ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ කිෂූ ගෝමස් මහතාගෙන් කරුණු විමසීමක් කළ අතර ඒ මහතා එහිදී කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපොළ අමුතුවෙන් විවෘත කරන්නට යමක් නැති බවත්, එය කොහොමටත් විවෘතව පවතින බවත්ය.

    “මේක කොහොමත් විවෘත වෙළෙඳපොළක්. මෙතන තියෙන ප්‍රශ්නේ නිසි නියාමනයක් නොමැතිකම. ඒ වගේම නියාමකයෙක් නැහැ. ඒ නිසා තවත් තරඟකරුවන් මේ වෙලෙඳපොළට පැමිණියහොත් පාරිභෝගිකයාට නිසි භාණ්ඩය ලබාගැනීමටත්, රජයට අවශ්‍ය ආදායම ලබාගැනීමටත් නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකියි“, යනුවෙන් ඔහු මෙහිදී පැවසීය.

    “අද වන විට බලපත්‍රලාභී තරඟකාරී සමාගම් 13 ක් මෙරට ලිහිසි තෙල් වෙළෙඳපොළ තුළ සිටිනවා. වාර්ෂික වෙළෙඳපොළ ප්‍රමාණය ලීටර් මිලියන 53 යි. ඒ අනුව එක සමාගමකට ලීටර් මිලියන 4 ක පමණ අවස්ථාවක් තමයි හිමිවන්නේ. එහෙත් ඉන්දියාවේ වාර්ෂික ලිහිසිතෙල් අවශ්‍යතාව ලීටර් බිලියන 2 ක් පමණ. ඒ වෙළෙඳපොළේ ඉන්නේ තරගකාරී සමාගම් 21 යි. ඒ අනුව බැලුවහොත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තරඟකරුවන් ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපොළේ සිටිනවා. අද වන විට ලෝකයේ සිටින ප්‍රබල ලිහිසිතෙල් සමාගම් සියල්ලක්ම ලංකාවේ සිටිනවා. ඊට අමතරව ශ්‍රී ලංකා රජයත් මෙම වෙළෙඳාමේ නිරත වෙනවා“, යැයි කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    අද වන විට බලපත්‍ර රහිතව මෙරට ලිහිසි තෙල් වෙළෙඳාමේ නිරත තරඟකාරී ආයතන 17 ක් ක්‍රියාත්මක බවත්, රජයට මෙම වෙළෙඳපොළ නියාමනය කරන්නට ක්‍රමවේදයක් හෝ නියාමකයෙකු නොමැති නිසා මෙම තත්ත්වය පාලනය කිරීමට නිසි යාන්ත්‍රණයක් නොමැති වී තිබෙන බව ඔහු පැවසීය.

    දැනට ශ්‍රී ලංකාව තුළ සමාගම් 3 ක් ලිහිසි තෙල් නිෂ්පාදිතයේ නිරත බව පැවසූ කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් පැවසුයේ මෙරට අවශ්‍යතාවය මෙන් තුන්ගුණයක නිෂ්පාදන ධාරිතාවක් එම සමාගම් වලට ඇති බවත් මේ අවස්ථාවේ දී වෙළෙඳපොළ විවෘත කිරීම තුළින් තවත් සමාගම් මෙරටට පැමිණීමේ අවශ්‍යතාවයක් තමා නොදකින බවත්ය.

    2016 අයවැය යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අප කළ විමසීමේ දී ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය. “ඇත්තටම දැන් අපිට direction එකක් තියෙනවා. ඒ ගැන සතුටු වෙනවා. පුද්ගලික අංශය මත ආණ්ඩුව යැපෙනවා කියෙන එක මේකෙන් පැහැදිලියි. ඒ අනුව සුභවාදී අයවැයක් බව කියන්න පුළුවන්“.