‘බොට්ස්වානා දියමන්ති – ශ්‍රී ලංකා මැණික්‘ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කෙරේ

    December, 6, 2021

    මෑතක දී බොට්ස්වානා ජනරජයේ සංචාරයක නිරත වූ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා බොට්ස්වානා හි ජාත්‍යන්තර කටයුතු සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය ලෙමොගන්ග් ක්වාපේ මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. මහ කොමසාරිස් අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ සුබපැතුම් ආචාර්ය ලෙමොගන්ග් ක්වාපේ මහතා වෙත පිරිනැමීය.

    මහ කොමසාරිස් අමරසේකර මහතා මෙම සාකච්ඡාව අතරතුර දී දෙරට අතර පවත්නා මිත්‍රශීලී සබඳතාව ඇගයීමට ලක් කළ අතර ක්වාපේ මහතා බොට්ස්වානා හි ආර්ථිකයට සහ රාජ්‍ය පරිපාලන පද්ධතියට ශ්‍රී ලාංකික වෘත්තිකයන් විසින් සපයනු ලබන දායකත්වය අගය කළේ ය.

    බොට්ස්වානා හි දියමන්ති කර්මාන්තය සහ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අතර පවත්නා සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ දෙපාර්ශ්වය රැකියා අවස්ථා ඉහළ ප්‍රමාණයක් උත්පාදනය කිරීම සහ ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මෙම කර්මාන්තවල පවතින ශක්‍යතා අධ්‍යයනය කිරීමට එකඟ වූහ.

    බොට්ස්වානා හි දී කණින ලද උසස් තත්ත්වයේ දියමන්ති ශ්‍රී ලංකාවේ දක්ෂ ස්වර්ණාභරණ ශිල්පීන් විසින් උසස් තත්ත්වයේ ආභරණ බවට පත් කළ හැකි බැවින්, මෙම කර්මාන්ත ආශ්‍රිත සහයෝගීතාවය දෙරටටම විශේෂාකාරයෙන් ප්‍රයෝජනවත් වේ.

    තවද, ශ්‍රී ලංකාව සහ බොට්ස්වානා යන දෙරටේම තේ කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කළ අමාත්‍ය ක්වාපේ මහතා, මේ සම්බන්ධයෙන් දෙරට අතර පවත්නා සහයෝගීතාව දිරිමත් කළේ ය. දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය බොට්ස්වානා ජනරජය සමඟ සමගාමීව අක්ත ගන්වා ඇත.