December, 7, 2021
බන්ධනාගාර රැඳවියන් හා සිරකරුවන් මාර්ගගත වීඩියෝ සම්මන්ත්රණ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමත්, අමුත්තන් මුණගැසීම ඇතුළු සේවා රැසක් සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගැනේ.
බන්ධනාගාරගත රැඳවියන්ගේ හා සිරකරුවන්ගේ ආරක්ෂාව, නීතිවිරෝධී ද්‍රව්‍ය හුවමාරුව නතරකිරිම මෙන්ම වසංගත තත්ත්ව පාලනය පහසුකරලීම මෙහි අපේක්ෂාවයි.
බන්ධනාගාර තුළ ඇති අධික තදබදයත් සිරකරුවන් අධිකරණ කටයුතු සඳහා බැහැරයාමත් නිසා වසංගත තත්ත්ව පාලනයට බාධාවක් වී තිබේ.
එමෙන්ම සිරකරුවන් උසාවි වෙත ගෙන යාමේදී පැනයාමට උත්සාහ දැරීම මෙන්ම ඔවුන් ඝාතනවලට ඉලක්කවීමත් සිරකරුවන් බැලීමට එන අමුතන් මගින් නීතිවිරෝධී ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ඇතුළුවීමත් බරපතල ගැටළුවක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
වීඩියෝ සම්මන්ත්රණ තාක්ෂණය තුළින් ගරු විනිශ්චයකාරවරුන්ට සිරකරුවන්ගේ තත්වය පරික්ෂා කිරීමට හැකිවන අතර අධිකරණ වෙත රැගෙනයාම පාලනය වේ.
එමෙන්ම අමුත්තන් මුණගැසීමට හා නීතිඥ උපදෙස් ලබාගැනීමට මෙම තාක්ෂණය මගින්ම හැකිවීමෙන් බාහිර පාර්ශව බන්ධනාගාර වෙත පැමිණීමද පාලනය වේ.
බස්නාහිර පළාත් අධිකරණ 10 බන්ධනාගාර 4 ක මෙම පහසුකම් පළමු පියවර ලෙස සැපයේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මේ සඳහා තාක්ෂණ පහසුකම් හා උපදෙස් ලබාදෙන අතර අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩසටහන ක්‍රියාවට නගනු ලබයි.
මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම සදහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අධිකරණ අමාත්‍යංශය, බන්ධාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අතර අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී (06) සිදුකෙරිණි.
අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂද සේනානායක, ප්‍රධාන ඩිජිටල් නිලධාරි කාංචන තුඩුගල, රේඛීය ව්‍යාපාර අධ්යක්ෂ අමිල කුලරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දෙනිය ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
Video Story