December, 9, 2021
මෙරට සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත්, එහිදී කටාර් මහ බැංකුව සමඟ ඩොලර් බිලියනයකට වැඩි විනිමය හුවමාරුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,
අපි අපේ සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පියවර අරගෙන තියෙනවා.
මැදපෙරදිග කටාර් රාජ්‍යයේ මහ බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන එකකට වඩා වැඩි ප්‍රමාණයක විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට එළඹීමට අපි කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම සාක් මූල්‍ය පහසුකම් යටතේ ඉන්දියානු සංචිත බැංකුව සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 400ක විදේශ විනිමය හුවමාරු පහසුකම් අපි ලබා ගෙන තියෙනවා.
ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම යටතේ ඩොලර් මිලියන 300 ක ප්‍රමාණයක් මේ වෙන කොට ලබා ගන්න කටයුතු කරලා තියෙනවා.
වාණිජ බැංකු අතර ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට අපි එළඹීම සඳහා අවශ්‍ය වැඩකටයුතු කරලා තියෙනවා.
රජය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුරැකුම්කරණය සිදුකිරීමට අපි කටයුතු කරලා තියෙනවා.
ඉන්දියාව සමඟ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංචාරය අවසානයේ දී ඉන්ධන මිල දී ගැනීම සඳහා ඒ අවශ්‍ය එකඟතාවයත්, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිල දී ගැනීම සඳහා වූ එකඟතාවයට, මූල්‍ය පහසුකමට එළඹීමට නියමිතයි.
ඒ වගේම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ මූල්‍ය ආයතන අපිට සහයෝගය දැක්වීමට මේ වෙන කොට කටයුතු කරලා තියෙනවා.
Video Story