December, 15, 2021
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වූ Capital Alliance Limited (CALT) සමාගමේ ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (15) දින ආරම්භ විය.
මූලික මහජන කොටස් නිකුතුවේ දී රු. 10.00 බැගින් නිකුත් කෙරුණු CAL කොටසක මිල අද දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. 20.90 ක් ලෙසින් සටහන් වූයේ මූලික කොටස් නිකුතුවේ මිල මෙන් දෙගුණයක් දක්වා වර්ධනයක් සනිටුහන් කරමිනි.
එසේම අද දිනයේ දී සමස්ත පිරිවැටුමට දෙවැනියට වැඩිම දායකත්වයක් ලැබී තිබුණේ ද CAL කොටස් ගනුදෙනු හරහා ය. එය රු. මිලියන 658.80 කි. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් ගනුදෙනු හරහා වාර්තා වී තිබුණු රු. බිලියන 1.54 ක පිරිවැටුමට පමණක් එය දෙවැනි විය.
අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 7.44 ක් වේ.
මේ අතර අඛණ්ඩව ඉහළ ගිය දින 4කට පසු සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් අද දින වාර්තා විය. එහිදී දිනය තුළ ඒකක 42.42 කින් සියලු කොටස් මිල දර්ශක අගය පහළ ගොස් ඒකක 11,754.46 ක් ලෙසින් සටහන්ව තිබුණි.
තවද S&P SL20 දර්ශකය ඒකක 15.52 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 4,233.02 ක් ලෙසින් සටහන් වුණි.
ඡායාරූපය - අද දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරමින් සම්ප්රදායික සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවට එක්වූ Capital Alliance Limited සමාගමේ හා කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළ නිලධාරීන්
Video Story