January, 10, 2022
කෙන්යාව වෙත ශ්‍රී ලංකාවේ ප්‍රථම කොහුබත් තොගය අපනයනය කෙරේ
තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී කෙන්යාවේ නිරත වූ සංචාරය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ කෙන්යාව දෙරට අතර ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා දරන උත්සාහයන් තවදුරටත් වේගවත් වී ඇත. දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා සතුව වසර 50 කට වැඩි මිත්‍රත්වයක් සහ සහයෝගීතාවක් ඇති නමුදු වෙළඳ සබඳතා සම්බන්ධයෙන් පවත්නා සැබෑ ශක්‍යතාවන් දෙරටම අවබෝධ කරගෙන නොමැත.
එබැවින් මෙය අරමුණු කර ගනිමින් කෙන්යාව සමඟ ඉදිරියේ දී වෙළඳාම් කිරීම සඳහා නව නිෂ්පාදන කූඩයක් නිර්මාණය කිරීම කෙරෙහි අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සිය අවධානය යොමු කළේ ය.මෙමගින් ශ්‍රී ලංකාවෙන් කෙන්යාව වෙත ප්‍රථම වරට කොහුබත් තොගයක් අපනයනය කිරීමට හැකි විය. කෙන්යාවට යැවීමට නියමිතව තිබූ ප්‍රථම කොහුබත් තොගය 2022 ජනවාරි 4 වැනි දින කොළඹ වරායේ දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සංකේතාත්මකව මුදා හරින ලදි.අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිදු කළ සංචාරයේ පසුවිපරමක් වශයෙන් කෙන්යාවේ කොහුබත් ආනයනකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගත් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවෙන් කෙන්යාව වෙත ප්‍රථම කොහුබත් තොගය අපනයනය කිරීම සඳහා මේලීන් කෙන්යා නමැති සමාගම සමඟ සම්බන්ධ වී කටයුතු කළේය.
නැගෙනහිර අප්‍රිකාවේ ආර්ථික, මූල්‍ය සහ ප්‍රවාහන කේන්ද්‍රස්ථානය වන කෙන්යාව වෙළඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා වාසිදායක අවස්ථා ලොවට පිරිනමයි. එසේ වුවද කෙන්යාව වෙත සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ අපනයනවල වටිනාකම වසර ගණනාවක් පුරා අස්ථිර ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ අපනයනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 24ක් වූ අතර එය ගෙතුම් හෝ ගෙතුම් රෙදි, ඝන කඩදාසි, පෙට්ටි, ඇසුරුම් ද්‍රව්‍ය, මූලික ෆයිබර් වැනි නිෂ්පාදන කිහිපයකට පමණක් සීමා විය. ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර වෙළෙඳ කටයුතු පුළුල් කිරීම සඳහා මහත් ශක්‍යතාවක් පවතින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේය. කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුප්පිල්ලෙයි කනනාදන් මහතා ද මීට සහභාගී වූ අතර දෙරට අතර පවත්නා වෙළෙඳ සබඳතා නව මාවතකට හැරවීමට ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට ද ඔහු සිය දායකත්වය සැපයුවේය.
කෙන්යාවේ මනාව සංවර්ධිත කෘෂිකාර්මික අංශය සිය පාංශු සකස් කිරීමේ කටයුතු සඳහා කොහුබත් භාවිතා කරයි. කෙන්යාවේ කොහුබත් භාවිතා කරන්නන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන් වෙත යොමු කළ ඉල්ලීම පරිදි සුවිශේෂී සකස් කිරීමේ ක්‍රමයක් භාවිතා කරමින් මෙම කොහුබත් සකස් කෙරුණු අතර එමඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ඔවුන් දැනට භාවිතා කරන නිෂ්පාදනයට සාපේක්ෂව උසස් තත්ත්වයේ පවතින බව තහවුරු විය. කොහුබත් සම්බන්ධයෙන් කෙන්යාවේ සම්පූර්ණ වාර්ෂික ආනයන ධාරිතාව මෙට්‍රික් ටොන් 10,000 ක් වන අතර ශ්‍රී ලංකාවෙන් කෙන්යාව වෙත සිදු කෙරෙන මෙම නිෂ්පාදනයේ තිරසාර අපනයන ප්‍රවණතාව එතුළින් සහතික කෙරේ.
කෙන්යාව වෙත ප්‍රථම වරට අපනයනය කෙරෙන කොහුබත් තොගය කොළඹ වරායෙන් මුදා හැරීමේ අවස්ථාව සඳහා මහ කොමසාරිස් කනනාදන් මහතා ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ එක් විය. කෙන්යාවට අපනයනය කළ හැකි නව භාණ්ඩ සම්බන්ධයෙන් පවත්නා ශක්‍යතා ගවේෂණය කිරීම සඳහා මහ කොමසාරිස් කනනාදන් මහතා ශ්‍රී ලංකාවේ සිටිය දී අපනයනකරුවන් කිහිප දෙනෙකු හමුවිය.
Video Story