අර්ථසාධක අරමුදලට කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 28 ක සුපිරි ලාභයක්

    January, 18, 2022

    ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සිදුකර ඇති ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම ‌2021 වසර අවසාන වන විට රු. බිලියන 112 ක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    මෙම ආයෝජනයන් හි පිරිවැය රු. බිලියන 84 ක් වේ.

    ඒ අනුව කොටස් වෙළෙඳපොළ ආයෝජන හරහා සේවක අර්ථසාධක අරමුදල විසින් මෙතෙක් උපයා ඇති උපලබ්ධි නොවූ ලාභය රු. බිලියන 28 කි.

    මීට අමතරව 2021 වසර තුළ දී ප්‍රාග්ධන ලාභ, මුදල් ලාභාංශ හා කොටස් ලාභාංශ හරහා රු. බිලියන 4.7 ක ලාභයක් උපයා ගැනීමට ද අරමුදල සමත් වී තිබේ.

    සේවක අර්ථසාධක අරමුදල යනු ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමය වන අතර, 2020 අවසන්වනවිට එම අරමුදලෙහි ආයෝජන කළඹෙහි වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 3,243 ක් වේ. මින් 94% ක්ම ආයෝජනය කර ඇත්තේ රජයේ සුරැකුම්පත්වලය. සමාගම් කොටස්වල ආයෝජනය කර ඇති ප්‍රමාණය 3% ක් පමණ වේ.

    සේවක අර්ථසාධක අරමුදලෙ හි පරිපාලන කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව මගින් සිදු වන අතර එහි අරමුදල් කළමණාකාරණය මුදල් මණ්ඩලය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

    මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    සේවක අර්ථසාධක අරමුදල විසින් ආයෝජනය කර ඇති ලැයිස්තුගත සමාගම්හි වෙළෙඳපොල වටිනාකම 2021 වර්ෂය අවසානයේදී, පිරිවැය වූ රු‍පියල් බිලියන 84ට සාපේක්ෂව රුපියල් බිලියන 112ක් ලෙස වාර්තා විය‍: රුපියල් බිලියන 28 ක ඉහළයාමක්

    මුදල් මණ්ඩලය විසින් කළමනාකරණය වන සේවක අර්ථසාධක අරමුදල (සේ.‍අ.අ), ශ්‍රී ලංකාවෙහි දැනට පවතින විශාලතම විශ්‍රාම අරමුදල වේ. අරමුදලෙහි වටිනාකම ආරක්ෂාකර ගනිමින් සාමාජිකයින්ට උපරිම ප්‍රතිලාභ ලබාදීමේ දිගුකාලීන අරමුණ ඇතිව එහි ආයෝජන කළඹ පවත්වාගෙන යනු ලැබේ. නිශ්චිත අවදානම් පරාමිතීන් යටතේ පාලනය වන මෙම අරමුදලෙන් සියයට අනූ හතරක් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති අතර, ඉතිරිය ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් කොටස්, සාංගමික ණයකර, භාරකාර සහතික හා වෙනත් මුදල් වෙළෙඳපොල උපකරණවල ආයෝජනය කර ඇත. මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද උපාය මාර්ගික වත්කම් වෙන් කිරීමේ නියමිත සීමාවන්ට යටත්ව, අනුමත කරන ලද වත්කම් පංතිවල ආයෝජනය කිරීම මඟින් විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් සේ.අ.අ. පවත්වාගෙන යනු ලැබේ. 2020 දෙසැම්බර් 31 වෙනි දිනට සේ.අ.අ. ආයෝජන කළඹෙහි වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 3,243 ක් විය.

    ඉහත දක්වා ඇති පරිදි, ‌සේ.අ.අ. එහි ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, සිය අරමුදලින් සියයට තුනක ප්‍රමාණයක් ප්‍රමාණවත් මූර්ත ප්‍රතිලාභයක් ලබා ගැනීමේ දීර්ඝ කාලීන අරමුණින් ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම්වල ආයෝජනය කර ඇත‍. සාර්ව ආර්ථික විචල්‍යන්හි උච්චාවචනය, සමස්ථ කොටස් වෙළෙඳපොලෙහි ක්‍රියාකාරිත්වය මෙන්ම එක් එක් ලැයිස්තුගත සමාගම්හි කාර්යසාධනය යන කරුණු, සේ.අ.අ. හි ලැයිස්තුගත කොටස් කළඹෙහි වෙළෙඳපොල වටිනාකම වෙනස්වීමට බලපානු ලැබේ. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (SLFRS) වලට අනුකූලව, ස‍ේ.අ.අ. ආයෝජන කළඹෙහි වටිනාකම හා අදාළ මූල්‍ය වර්ෂයේ ලාභය ගණනය කිරීම සිදුකරනු ලැබේ.

    ඉහත සඳහන් කළ මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව, ලැයිස්තුගත කොටස් කළඹෙහි වෙළෙඳපොල වටිනාකම 2021 වසර අවසානයේදී, එහි පිරිවැය වූ රුපියල් බිලියන 84 ට සාපේක්ෂව රුපියල් බිලියන 112ක් දක්වා වර්ධනය වීම මත, රුපියල් බිලියන 28 ක සැලකිය යුතු උපලබ්ධි නොවූ ලාභයක් වාර්තා විය. තවද, 2021 වසරේදී කොටස් හා මුදල් ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභ ලෙස සේ.අ‍.අ. රුපියල් බිලියන 4.7 ක් උපයන ලදී. එමෙන්ම, 2019 සිට 2021 දක්වා වන තෙවසර තුළ රුපියල් බිලියන 9.6 ක පිරිවැයක් සහිත වූ ලැයිස්තුගත නොකළ සමාගම්වල ආයෝජන මත රුපියල් බිලියන 2.5 ක වාර්ෂික සාමාන්‍ය ලාභාංශ ආදායමක් උපයාගෙන තිබේ.‍

    විනිවිදභාවය පවත්වා ගැනීමේ අරමුණින්, සේ.අ.අ. එහි ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ කොටස් ආයෝජනවල වෙළෙඳපොල වටිනාකම කාර්තුමය පදනමින් සේ.අ.අ. නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන අතර, එම තොරතුරු පහත සඳහන් වෙබ් ප්‍රවේශය තුළින් ලබා ගත හැකිය‍.

    https://epf.lk/?page_id=2483