ඇමතිගේ ඉල්ලීමට බැහැ කියද්දී LIOC කොටස් මිලෙහි සුවිශේෂී වැඩිවීමක්

    January, 18, 2022

    විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ලංකා IOC සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අතර සාකච්ඡාවක් අද (18) දිනයේ දී පැවැත්විණි.

    මේ වන විට විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙතින් නොහැකි වී තිබෙන බැවින් ලංකා IOC සමාගම වෙතින් එකී ඉන්ධන ලබා ගැනීමට කටයුතු යෙදීම මෙම හමුවේ අරමුණ විය.

    කෙසේවෙතත් මේ වන විට තමන් සතුව වැඩිපුර ඉන්ධන තොග නොමැති බැවින් අදාළ ඉල්ලීම ලංකා IOC සමාගම වෙතින් ප්‍රතික්ෂේප වී තිබේ.

    “පසුගිය දවස්වල ගල් අඟුරු බලාගාරයක මෙගාවොට් 300ක ප්ලාන්ට් එකක් හදිසි ආපදාවක් ඇවිල්ලා නැවතුනා. ඉංජිනේරුවෝ කියන විදියට ඒක හරිගස්සලා ඉවර වෙන්නේ 24 වනදා. ඒ නිසා අපිට මෙගාවොට් 200ක් විතර ඉන්ධනවලින් දුවන්න වෙලා තියෙනවා. අපිට සපුගස්කන්ද, කැලණිතිස්ස සහ වරායේ පාවෙන බලාගාරයට ටොන් 1,500ක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා අපේ ගබඩාවල තියෙන තෙල් අවසන් වුණාම තෙල් සංස්ථාවට කථාකරලා තෙල් ටොන් 3,000ක් අපිට ලැබුණා. ඒ 3,000ත් අද හවස වෙනකොට අවසන් වෙන්න යන්නේ. ඒ නිසා අපි කල්පනා කළා විකල්ප වැඩපිළිවෙළක් හැටියට IOC සමාගමත් එක්ක කථා කරලා තෙල් ටිකක් ගන්න. කොළඹ ඉන්න IOC සමාගමේ ප්‍රධාන කළමනාකාරතුමාත් සමග මමත් විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමත්, ලේකම්තුමත් සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේ දී ඒ අය ළඟත් එහෙම වැඩිපුර ඉන්ධන තොගයක් නොමැති බව දැනුම්දුන්නා. ඒ තොගයක් තිබුණත් ඒක ත්‍රිකුණාමලයේ තියෙන්නේ, කොළඹින් ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් අපි ඒ අය සමග දිර්ඝ කාලින වැඩපිළිවලක් ගැන සාකච්ඡා කරන්න තීරණය කළා. නමුත් මේ මොහොතේ ඒ අයගෙන් අපිට මේ අපේ අඩුව පිරිමහගන්න බැහැ“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

    මේ අතර විදුලිබල අර්බුදය සම්බන්ධයෙන් ලංකා IOC සමාගමේ සහාය ලබාගැනීමට රජය කටයුතු කිරීමත් සමඟම ආයෝජකයින්ගේ ඉහළ උනන්දුවක් ලංකා IOC කොටස් වෙනුවෙන් යොමුවන බවක් අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අතරවාරයේ දී නිරීක්ෂණය කළ හැකිවිය.

    එහිදී පූර්ව ගනුදෙනු දිනයේ දී රු. 63.40 ක් ලෙසින් සටහන් වූ ලංකා IOC සමාගමේ කොටසක් මිල අද දින අවසානයේ දී දැක්වුණේ රු. 69.00 ක් ලෙසිනි. මෙය 8.83% ක සුවිශේෂී මිල ඉහළ යාමකි. එසේම රු. 74.00 ක් දක්වා වූ ඉහළ මිලකට ද ලංකා IOC කොටස් අද දින ගනුදෙනු වනු දැකිය හැකි විය. රු. මිලියන 183.28 ක වටිනාකමකින් යුතු ලංකා IOC කොටස් ප්‍රමාණයක් අද දින හුවමාරු වී තිබුණි.