ඩොලර් ගේන්න කළ වැඩක් ලප් තැනම ලොප් වෙයි

    January, 20, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඩොලර්වලින් නාමනය කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබුණි.

    මාස 05, මාස 09, වසර 1 මාස 2, වසර 2 මාස 03 සහ වසර 04 මාස 06 යනා දී පරිණත කාල 5 ක් යටතේ සිදුකරන ලද මෙම වෙන්දේසියේ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 100 කි.

    මේ සඳහා ලංසු ඉදිරිපත් කිරීම සඳහා 2022 ජනවාරි 13 දින පෙ.ව. 11.00 සිට 2022 ජනවාරි 20 දින පෙ.ව. 10.00 දක්වා  සතියක කාලයක් වෙන්කර තිබුණු අතර ඒ අනුව අද (20) දිනයේ දී එම නිකුතුව අවසන් වුණි.

    කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව ප්‍රමාණවත් ලංසු භාර ඉදිරිපත්වීමක් සිදු වී නොමැති බව අනාවරණය වී තිබේ.

    සමස්ත වෙන්දේසියේ දී ලැබී තිබුණු මුළු ලංසුවල වටිනාකම ඩොලර් මිලියන 86.02 කි.

    නමුත් මෙහිදී පිළිගෙන ඇත්තේ ඩොලර් මිලියන 11.35 ක ලංසු ප්‍රමාණයක් පමණි.