ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නැවතත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වෙයි

    February, 3, 2022

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්‍ෂණ ක්ෂේත්‍රයේ  වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කරගැනීමට සමත්ව තිබේ.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ වෙළඳපලේ ප්‍රමුඛතම සන්නාමය වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්මෙවරද මෝටර් රථ රක්‍ෂණ වෙළෙඳපොළේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ.

    සාමාන්‍ය රක්ෂණ වෙළඳපල තුල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 21.73% ක වෙළඳපල කොටසකට හිමිකම් කියන අතර 2021 වසර සඳහා ඉතා අභියෝගාත්මක වෙළඳපළ තත්වයන් මධ්‍යයේ වුවද  5.4% ක් වාරික වර්ධනයක්  සමගින් රු. බිලියන 21.2  වාරික ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

    මෝටර්රථ නොවන රක්‍ෂණ අංශය 15%ක අතිවිශිෂ්ට වර්ධනයක්‌ වාර්තා කරමින් රු. බිලියන 9.5 ක  ආදායමක් වාර්තා කර ඇති අතර මෝටර් රථ රක්‍ෂණ අංශය රු. බිලියන 11.6 ක වාරික ආදායමක් වාර්තා කරමින් මෝටර් රථ රක්‍ෂණ අංශයේ පෙරමුණ ගෙන සිටී.

    එසේම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස අඛණ්ඩව සිවු වන වසරටත් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් මගින් ඇගයීමට ලක්විය.

    සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම සඳහා මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන "ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්"  දායකත්වය දක්වන ලද අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්"  වෙතින් මෝටර් රථ රක්ෂණ වෙළඳපල තුල පවත්නා සුවිශේෂී රක්ෂණ අවශ්‍යතා වලට අනුකුලව Motor Plus Ladies Only, Motor Plus Tuk, Motor Plus Rider සහ Motor Plus Commercial  ලෙසින් නවමු රක්ෂණ සැලසුම් රැසක් හඳුන්වා දෙමින් මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රය තුල පාරිභෝගිකයාට වඩාත් පුළුල් පහසුකම් සැපයීමට සමත්ව සිටී.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය 60 වැනි සංවත්සරය සමරමින් ජ්‍යෙෂ්ඨ  පුරවැසියන් ගේ  සෞඛ්‍ය හා රෝහල් ගාස්තු රක්ෂණ අවශ්‍යතා ආවරණය කිරීම සඳහා "Medi 60" සුවිශේෂී ජ්‍යෙෂ්ඨ  පුරවැසි සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දී තිබේ. මෙම රක්ෂණාවරණය ලබාගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම අනවශ්‍ය වන අතර  ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රෝහල් ගාස්තු, ශල්‍යකර්ම වියදම් සහ ඖෂධ වියදම් ඇතුළුව වෛද්‍ය ගාස්තු ප්‍රතිපූරණය කිරීමට හැකියාව ලැබේ.

    එමෙන්ම තවත් සුවිශේෂී රක්ෂණ ආවරණයක් ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ  විවිධ ව්‍යාපාර  රක්‍ෂණ අවශ්‍යතා සඳහා සරිලන පරිදි  පරිපුර්ණ  ව්‍යාපාර රක්ෂණ  විසඳුමක්  ලෙසින් “බිස්නස් ක්ලබ්” වෙළඳ ව්‍යාපාර රක්ෂණ සැලසුම ඉදිරිපත් කර තිබේ.

    තවදුරටත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලුම සිසුන්ට නොමිලේ ලබාදෙන සුරක්ෂා සැත්කම් හා රෝහල් ගාස්තු රක්ෂණ ආවරණය සඳහා පහසුකම් සැලසීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් සිදුවන අතර මේ මගින් රජයේ පාසැල්, පෞද්ගලික පාසැල්, ජාත්‍යන්තර පාසැල් සහ පිරිවෙන්  අධ්‍යාපනයේ නිරත පුජ්‍ය පක්ෂයද ඇතුළුව මිලියන 4.5 ක ශිෂ්‍ය ප්‍රජාව සඳහා රැකවරණය සලසයි.

    බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ  සහ උන්වහන්සේලාගේ පවුලේ සාමාජිකයන් සඳහා රැකවරණය සැලසීම සඳහා ‘නාගරාජ‘ ශාඛ්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණාවරණය නමින් විශේෂ රක්ෂණාවරණයක්ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හඳුන්වා දී තිබේ.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව තාක්ෂණය ඔස්සේ පාරිභෝගික සේවාවන් ලබාදීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන අතර ඔවුන්ගේ රක්ෂණ අවශ්‍යතා සඳහා පුළුල් සේවාවක් ලබාදෙන ප්‍රථම ජංගම දුරකථන යෙදුම ලෙසින් SLIC ජංගම දුරකථන යෙදුම (App) හඳුන්වා දෙන ලදී. පසුගිය වසරේදී වඩාත් වැඩිදියුණු කල සේවාවන් රැසක් මේ හරහා පාරිභෝගිකයන් වෙත ලබාදුන් අතර මේ වනවිට සතියකට 33,000කට අධික වාර ගණනක් පාරිභෝගිකයන් මෙම යෙදුම ඔස්සේ සිය රක්ෂණ සේවා අවශ්‍යතා සපුරා ගනියි.

    පාරිභෝගිකයන්ට අඛණ්ඩව රක්ෂණ සේවා අවශ්‍යතා ලබාගැනීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඩිජිටල් තාක්ෂනය ඔස්සේ ගෙවීම් පහසුකම් සපයන සේවා ආයතන රැසක් සමග එක්ව වාරික ගෙවීම් සඳහා පහසුකම් සලසන අතර  මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට සුරක්ෂිතව හා පහසුවෙන්  ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව ලැබී තිබේ.