බතික් ඇමති රුසියාවට

    February, 3, 2022

    බතික්අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අමාත්‍යවරයා රුසියාවේ පවත්නා අවස්ථා ගවේෂණය කරයි

    රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් සමඟ 2022 ජනවාරි 24 වැනි දින රුසියානු ජාත්‍යන්තර සහයෝගිතා සංගමය තුළ සංචාරයක නිරත වූවා ය. රුසියානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ උප සභාපති ව්ලැඩිමීර් පොලොස්කොව් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මරීනා කොරොස්ටලෙවා මහත්මිය විසින් මෙම දූත පිරිස පිළිගන්නා ලදී.

    මෙහිදී, රාජ්‍ය අමාත්‍ය ජයසේකර මහතා, තානාපති මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මහත්මිය සහ උප සභාපති වී.පොලොස්කොව් මහතා යනාදීහු රුසියානුවන් බහුතරයකට බතික්, අත්යන්ත්‍ර රෙදි සහ අනෙකුත් ඇඟළුම් නිෂ්පාදන හඳුන්වාදීම පිළිබඳව සිය අදහස් හුවමාරු කර ගත්හ. තවද, රුසියානු කෞතුකාගාර සහ චිත්‍රාගාරවල ප්‍රදර්ශන සංවිධානය කිරීම, මහා පරිමාණ රෙදිපිළි ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලංකාව සහභාගී කරගැනීම මෙන්ම, ශ්‍රී ලංකාව තුළ රුසියානු සන්නාම නිෂ්පාදනය කිරීමේ අවස්ථා ගවේෂණය කිරීම පිළිබඳව ද සාකච්ඡා කළහ.

    ඇඟළුම් ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ඉවහල් වන අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ක්ෂේත්‍ර කෙරෙහි ද ඔවුහු සිය අවධානය යොමු කළහ.