සංචිත ප්‍රමාණවත් සති තුනකට පමණයි – විපක්ෂ නායක සජිත්

    February, 8, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් විනිමය සංචිතය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. කෙසේවෙතත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ, මින් භාවිත කළ හැකි සංචිත පවතින්නේ ඩොලර් මිලියන 700 - 800 අතර ප්‍රමාණයක පමණක් බවයි. එය සති තුනක ආනයන සඳහා පමණක් ප්‍රමාණවත් වන බව ඔහු වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    මේ වන විට නිල වශයෙන් මහ බැංකුව කියනවා ජනවාරි අග වන විට අපේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.3 යි කියලා. දෙසැම්බර් අගභාගයේ 3.1 සිට 2.3 දක්වා අඩුවෙලාලු.

    එක පැත්තකින් මේක භයංකාර තත්ත්වයක්. තවත් පැත්තකින් මේක රටත් ජනතාවත් නොමඟ යැවීමක්.

    මේ 2.3 ඇතුළට ඇතුල් කරලා තියෙනවා යුවාන් swap එක. යුවාන් swap එක කියන්නේ යුවාන් බිලියන 10 ක් ලැබිලා තියෙනවා, දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.6 යි. ඇත්තම කතා කරනවා නම් අද අපේ රටේ දැනට  මේ මොහොතේ තියෙන සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 - 800 අතර ප්‍රමාණයක් පමණයි.

    IMF වුණත් කියනවා reserves වලට ඇතුල් කරන්න පුළුවන් ක්‍රමවේදය වන්නේ, ඒක ඩොලර් හැටියට පාවිච්චි කරන්න පුළුවන්නන්. මේ කතාකරන 2.3 ඇතුලේ පාවිච්චි කළ හැකි සංචිත, පාවිච්චි කළ හැකි ප්‍රාග්ධනය තිබෙන්නේ ඇත්ත වශයෙන්ම ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ මිලියන 700-800 අතර ප්‍රමාණයක්.

    ඇත්තවශයෙන්ම අද දවස වෙන කොට සති තුනක ආනයනවලට පමණක් තමයි අපේ සංචිත තිබෙන්නේ.

    ඉතිහාසයේ කිසිම දවසක කඩා වැටුණේ නැහැ මේ ආකාරයට.

    මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.36 ක් දක්වා පහත වැටී ඇති බවත්, මහ බැංකුවේ රත්‍රං සංචිතය ඩොලර් මිලියන 175 සිට ඩොලර් මිලියන 92 ක් දක්වා පහත වැටී ඇති බවත්ය.