February, 10, 2022
ආරම්භක පළමු වසරේ සිට වසර 10 ක කාලයක් තුළ ගබඩා පහසුකම් සැපයීමෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් ඉක්ම වූ විදේශ විනිමය ඉපැයීමක් සහතික කෙරෙන නව ආයෝජන ව්‍යාපෘතියක් ජාඇල - ඒකල ඇරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් දේශීය ආයෝජකයින් දිරි ගැන්වීමටත්, විදේශීය ආයෝජකයින් වෙත අවස්ථාව ලබා දීමත් අරමුණු කර ගනිමින්, නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් තරඟකාරී පදනම මත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ආයෝජන ව්‍යාපෘතිවලට යොදා ගැනේ.
ඒ අනුව ඇක්සස් ඉංජිනියරින් පෞද්ගලික සමාගමට අයත් ඇක්සස් ලංකා පාර්ක් (ඒකල) පෞද්ගලික සමාගම විසින් රුපියල් බිලියන 2.2 ක ආයෝජනයකින්, නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව නාගරික සංවර්ධන අධිකාරිය සතු ජාඇල, ඒකල පිහිටි ඉඩමක මෙම Logistic Park ආයෝජන ව්‍යාපෘතිය ඇරඹීමට නියමිතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිදු කරනු ලබයි.
මීට අදාළ ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර සහ ඇක්සස් ඉංජිනේරු සමාගමේ කළමණාකාර අධ්යක්ෂ රෝහණ ප්‍රනාන්දු යන මහත්වරුන් පසුගිය දා අත්සන් කළ අතර, බදු ගිවිසුමට අදාල චෙක්පත එහිදී ඇක්සස් ඉංජිනේරු සමාගමේ කළමණාකාර අධ්යක්ෂවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතාට පිරිනමන ලදි.
මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික ශාඛ්‍ය අරුක්වත්ත, ඇක්සස් ඉංජිනේරු සමාගමේ විධායක නිලධාරී නිෂාන් සිල්වා සහ ඇක්සස් ඉංජිනේරු සමාගමේ කළමණාකාර අධ්යක්ෂ රෝහණ ප්‍රනාන්දු යන මහත්වරු සහභාගී වී සිටියහ.
සැපයුම් පහසුකම් සහ ආශ්රිත සංවර්ධන ව්‍යාපෘතිය ලෙස නම් කර තිබෙන මෙම ආයෝජන ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සියලු සැලසුම් මේ වන විට සකසා අවසන් කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව සැපයුම් ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණයි. ඒ යටතේ විශාල බහුජාතික ගනුදෙනුකරුවන් සඳහා කළාපීය බෙදාහැරීමේ සහ ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරේ.
යෝජිත ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ බහු ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම, එම ව්‍යාපාර ගෝලීය පරිමාණයෙන් වේගවත්ව වර්ධනය කිරීම සිදුකෙරේ.
මේ සඳහා ක්‍රියාකරන දේශීය කාර්ය මණ්ඩලයට ජාත්‍යන්තර සැපයුම් සහ කළමනාකරණ විශේෂඥතාව සහ පුහුණුව ලබාදීමට කටයුතු කෙරේ. මහා පරිමාණ ගෝලීය තරගකරුවකු ලෙස ශ්‍රී ලංකාව තුළ බෙදහැරීම් මධ්‍යස්ථානයක් ඇතිකරන පළමු අවස්ථාව ලෙස මෙම ව්‍යාපෘතිය සටහන් වෙයි.
ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය "A" ශ්‍රේණියේ කාර්යාල පහසුකම වර්ග අඩි 2,000 ඉක්මවයි. එය සම්පූර්ණයෙන් වායු සමනය කර ඇති අතර, විනෝදාස්වාදය සපයන ස්ථාන, ආපන ශාලා සහ නවාතැන් පහසුකම්වලින් සමන්විතව පවතියි. මෙහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 300 කට වැඩිපිරිසකට නවාතැන් ගැනීමට ද හැකියාව පවතියි.
යෝජිත ව්‍යාපෘතිය තුළින් 800 වඩා වැඩි ඍජු කම්කරු රැකියා, ට්‍රක් රථ රැකියා 500 ක් සහ සැපයුම් ව්‍යාපාර සඳහා රැකියා අවස්ථාවන් 300 ක් පමණ නිර්මාණය කෙරේ. මෙයට අමතරව යෝජිත ව්‍යාපෘතිය ඉංජිනේරු වෘත්තීයේ සිට කම්කරු වෘත්තීය දක්වාත්, බහු සේවාවන් සැපයීමේ අවස්ථාවන් දක්වාත් නව රැකියා අවස්ථාවන් බිහිකරයි.
යෝජිත ව්‍යාපෘතියේ අරමුණු ලෙස මුහුදු සහ ගුවන් භාණ්ඩ සැපයීම, අගය එකතු කිරීමේ කර්මාන්ත ගබඩා පහසුකම් භාණ්ඩ බෙදහැරීම සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් සඳහා ක්‍රියාකිරීමට අවස්ථා විවෘත කිරීම, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් පිහිටුවීමට විශාල බහුජාතික සමාගම් දිරිමත් කිරීම, එමඟින් රටට විදේශ මුදල් ඉපයීමට විශාල දායකත්වයක් ලබාදීම, ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති කාර්යක්ෂම ගොඩනැගිලි අවස්ථා ප්‍රවර්ධනය කිරීම, උසස්ම තත්ත්ව සහ ආරක්ෂාව සහිත බහු ජාතික සංවිධාන සඳහා ලෝක මට්ටමේ පහසුකම් සැලසුම් කිරීම සහ ඉදිකිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ඉංජිනේරුමය දක්ෂතා මතුකිරීම, MEP සහ ගිනි ආරක්ෂණ පද්ධති සැලසුම් කිරීමේදී ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ නිෂ්පාදන හැකියාවන් ප්‍රදර්ශනය කිරීම, ශ්‍රී ලාංකිකයන් සඳහා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලබා දීම, තාක්ෂණයේ සංවර්ධනය, හුවමාරුව සහ වාණිජකරණය වැඩිදියුණු කිරීමත් සමඟ සහයෝගීතාවය සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම මඟින් නව ව්‍යාපාර දියුණු කිරීම සහ වර්ධනය කිරීම දියුණු කිරීම, අපද්‍රව්‍ය වැළක්වීම කෙරෙහි අවධානය යොමු කිරීම, ප්‍රභවයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට ස්වභාවික සම්පත් හා බලශක්ති ඉතිරි කිරීමට සහ වියදම් කපා හැරීමට උපකාරීවීම යනුවෙන් ද දැක්විය හැක.
ව්‍යාපෘතියේ කල්බදු සීමාව අවසානයේ වර්ග අඩි 700,000 කට වැඩි ගබඩා ඉඩකඩක්, සියලුම ආධාරක පහසුකම් සහිත කාර්යාල අවකාශයක්, ජලාපවාහනය, උපස්ථ බලය සහිත උපයෝගිතා සහ භුමි අලංකරණයක් නාගරික සංවර්ධන අධිකාරියට හිමිවෙයි.
මුල්‍ය යෝජනාවට අනුව කල් බදු කාල සීමාව වසර 50 ක් වන අතර සම්පූර්ණ කල්බදු මුදල එකවර නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිමට නියමිතයි.
2023 වසරේ දී මෙම ව්‍යාපෘතිය මඟින් ගබඩා හා සේවා පහසුකම් ලබාදීම ආරම්භ කිරීමෙන් පසු රට තුළට විදේශ ආයෝජන හිමිවන බව ඇක්සස් ඉංජිනේරු සමාගම තවදුරටත් සහතික කරයි. එම ආදායම්වලට අමතරව ව්‍යාපෘතියේ සැපයුම් සේවාව මඟින් ද වැඩිපුර ආදායමක් ලබාගත හැකි බවද එම සමාගම අවධාරණය කර සිටියි.
Video Story