මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා වූ කුවේට් අරමුදලේ ණය ගිවිසුමට අත්සන් තබයි

    February, 10, 2022

    අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදලේ (KFAED) පරිපාලන හා මූල්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නෙදල් ඒ. අල්-ඔලායන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක්, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීමට සහ ඊට පහසුකම් සැපයීමට අවශ්‍ය වන ණය ගිවිසුමට අත්සන් තැබීම සඳහා මෑතක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

    නැගෙනහිර, දකුණු ආසියානු සහ පැසිෆික් රටවල මෙහෙයුම් කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූසෆ් අල්-බදර් මහතා ඇතුළු මෙම නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

    ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සහ අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදලේ පරිපාලන සහ මූල්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නෙදල් ඒ. අල්-ඔලායන් මහතා, 2022 පෙබරවාරි 3 වැනි දින කොළඹ පිහිටි මුදල් අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපිට දී මෙම ණය ගිවිසුම සඳහා අත්සන් තැබූහ. මෙම ගිවිසුමට අත්සන් තැබූ නියෝජිත පිරිස, පසුව මුදල් අමාත්‍යාංශයේ දී අමාත්‍ය රාජපක්ෂ මහතා හමුවිය.

    මෙම සුහද හමුව අතරතුර දී, ශ්‍රී ලංකාව සහ කුවේටය අතර පවත්නා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන හවුල්කාරිත්වය පිළිබඳව සිහිපත් කළ මහාචාර්ය පීරිස් මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට පහසුකම් සපයන අතරතුර වඩාත් ප්‍රමුඛතම ඉදිකිරීම් ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් කුවේටය වෙත සිය කෘතඥතාව පළ කළේ ය. කුවේටය සහ අනෙකුත් ගල්ෆ් රටවල රැකියා ඉල්ලුම සපුරාලීම සඳහා ඉවහල් වන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා හෙද සහ සෞඛ්‍ය සේවක පුහුණු පහසුකම් ලබා දීම වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවත්නා අනෙකුත් වැදගත් අංශ පිළිබඳව ද අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා විස්තර කළේ ය.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති සඳහා කුවේටයේ සහය ලබා දෙන බවත්, මිත්‍රත්වයේ බැඳීම ඔස්සේ දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා සහය වන බවත් නෙදල් ඒ. අල්- ඔලායන් මහතා තහවුරු කළේ ය.

    ශ්‍රී ලංකාව සඳහා කුවේට් රාජ්‍යයේ තානාපති ඛලාෆ් බු ඩයිර් මැතිතුමා සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සමඟ පැවති හමුව සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.