මහ බැංකුව ඩොලර් විකුණයි

    February, 21, 2022

    2022 ජනවාරි මාසයේ දී දේශීය විනිමය වෙළෙඳපොළේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 407.76 ක් විකුණා ඇති බව වාර්තා වේ.

    මහ බැංකු සංඛ්‍යා දත්ත වාර්තාවක සඳහන් වන පරිදි මෙම මාසය තුළ ඩොලර් මිලියන 176.81 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත.

    ඒ අනුව ශුද්ධ වශයෙන් පසුගිය ජනවාරි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට විනිමය ස්ථාවරත්වය වෙනුවෙන් දේශීය විනිමය වෙළෙඳපොළේ එක්සත් ජනපද ඩොලර් මිලියන 230.95 ක ප්‍රමාණයක් අලෙවි කොට තිබේ.

    මේ අතර 2021 නොවැම්බර්, දෙසැම්බර් සහ 2022 ජනවාරි යන මාස තුන තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විනිමය වෙළෙඳපොළේ අලෙවි කොට ඇති සමස්ත ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන 1,204.82 (372.35 + 424.71 + 407.76) ක් හෙවත් ඩොලර් බිලියන 1.20 ක් වේ. මෙම මාස තුන තුළ මහ බැංකුව වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට කටයුතු කර ඇති ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන 309.68 (61.71 + 71.16 + 176.81) කි.

    මේ අනුව පසුගිය මාස තුන තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 895.14 ක් දේශීය විනිමය වෙළෙඳපොළේ අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව දැක්විය හැකිය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා සටහන් දක්වන පරිදි 2022 ජනවාරි මාසය තුළ දී මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී සටහන් වූ ඩොලර් මිලියන  2,771.9 සිට ඩොලර් මිලියන 2,078.0 ක් දක්වා ඩොලර් මිලියන 693.9 කින් පහළ බැස ඇත.