February, 22, 2022
මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙන බව සත්‍යයක් බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය හෝ උපදෙස් ලබා ගැනීමට රජය කටයුතු කරනු ලබන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (22) දින පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් රජය විවෘත මනසකින් බලන බවයි.
රජය විවෘත මනසකින් මේ දෙස බලන්නේ.
ශ්‍රී ලංකාව පසුගිය වසර 50කට ආසන්න කාලය තුළ දී 29 වතාවක් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ආධාර සහ ණය පහසුකම් ලබා ගෙන තිබෙනවා.
විශාලම ණය ප්‍රමාණය ලබා ගෙන තිබෙන්නේ 2009 කාලයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ දී.
ඒ සම්බන්ධයෙන් අපි දැඩි මතයක් නැහැ. ඔවුන් සමඟ සාකච්ඡා කිරීමටත් අවශ්‍ය විවෘත භාවය ලබා ගැනීමටත්, අවශ්‍ය තීන්දු රජය අරගෙන තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියේ දී වඩාත් යහපත් තත්ත්වයක් ඇතිවෙයි. විශේෂයෙන්ම විදේශ ප්‍රේෂණ ලැබීම පැත්තෙන් සහ සංචාරක ව්‍යාපාරය පැත්තෙන් අපේ ආදායම් ඉහළ යමින් තිබෙනවා. නමුත් ඒවා ඉතාම ක්‍රමානුකූලව සිදුවන්නේ. ක්ෂණිකව, මාසයකින් දෙකකින් මේ අර්බුදය පහව යයි කියලා හිතන්න අමාරුයි.
මේ රටේ අපනයනවලට වඩා ආනයන දෙගුණයක් වන විට, අපේ අපනයන ප්‍රමාණය ඩොලර් බිලයන 12යි, ආනයන ඩොලර් බිලියන 20කට වඩා වැඩියි. දෙගුණයක් අපි පිටරටින් ගෙන්වන කොට, අපි පිටරට යවන භාණ්ඩවල වටිනාකම ඊට වඩා භාගයක් වන විට අපිට මේ අර්බුදය ක්‍රමානුකූලව තමයි විසඳා ගන්න වෙන්නේ. ඒ සම්බන්ධයෙන් නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු රටේ කෙරෙනවා. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම නිෂ්පාදනය කරන්නත්, පිටරටින් ගෙන්වන අනවශ්‍ය දේ නවත්වන්නත් කටයුතු කරනවා. ඒ නිසා තමයි වසර දෙකක කාලයක් මේ රටට වාහන ගෙන්නුවේත් නැත්තේ. නමුත් අවාසනාවකට වගේ අපිට ඒකෙන් ලැබිය යුතු වාසිය ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යාම නිසා අපිට නැතිවෙලා තියෙනවා.
අර්බුදකාරී තත්ත්වයක් මතුවෙලා තිබෙන බව සත්‍යයක්.
ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහයෝගය හෝ උපදෙස් ලබා ගන්නටත්, අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කටයුතු කරනවා, ඒ සම්බන්ධයෙන් දැනටමත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන සමඟ දැනටමත් රජය ගනුදෙනු කරමින් තිබෙනවා.
Video Story