2017 පනත අධිභාර බද්දට අදාළ කරගන්න එපා – රනිල්

    February, 24, 2022

    2017 දේශීය ආදායම් පනත අදාළ වන්නේ ආදායම් බදු සඳහා බවත් එහි පවතින නිර්වචන අධිභාර බදු පැනවීමේ දී අදාළ කර නොගන්නා ලෙසත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලට අදාළ වූ ආකාරය 2017 දේශීය ආදායම් පනතේ සමාගමක් අර්ථ දක්වා ඇති ආකාරය අනුව සිදුවූවක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා අද (24) දින පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන -

    බදු පනතේ සමාගමක් නිර්වචනය කිරීමේ දී ඒ නිර්වචනවලට ඇතුල් කරලා තියෙනවා, නිර්වචන කියන කොටසේ 195 වෙනි එකේ, අර්ථනිරූපන යටතේ තියෙනවා, සමාගම් යන්න තුළට විශ්‍රාම වැටුප්, සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් සියල්ල සමාගම් යටතට ඇතුල් කරලා.

    දැන් මේ අධිභාරය පනවන කොට සමාගම්වලට අධිභාරය පනවන්නේ. එතකොට ඉබේම අධිභාරය පැනවෙනවා, අර නිර්වචනය නිසා මේ අර්ථසාධකයට. එය ඉවත් කිරීම සඳහා මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. සංශෝධනයක් ඉදිරිපත් කරනවා කාරක සභා අවස්ථාවේ දී අර්ථසාධකය එතනින් ඉවත් කරන්න.

    පා.ම. රනිල් වික්‍රමසිංහ - 

    2017 පනත තියෙන්නේ දේශීය ආදායම්. ඒ කියන්නේ Income Tax. මෙතන තියෙන්නේ Surcharge Tax. කාටද බදු දාන්නේ කියලා එවෙලේ දාන්න තිබුණා. ඒක පැහැදිලි කළේ නැත්නම් දැන් සංශෝධනය ගේන්න. මේක 2017 පනතට සම්බන්ධ කරන්න එපා. ඒක ආදායම් බද්දක් නෙමෙයි. මේක අධිභාරයක්. අධිභාරය කාටද බලපාන්නේ කියන එක එවෙලේ කියන්න තිබුණා, Funds වලට බලපාන්නේ නැහැ කියලා. ඒක එතන වුණු අඩුපාඩුවක්. කොහොම හරි අපි ඔක්කොම එකඟ වෙන්නං මේක ඉවත් කරන්න.