March, 1, 2022
එක්සත් ජනපදය සහ DFCC බැංකුව කාන්තාවන් සහ තාරුණ්‍ය වෙත MSME මූල්‍යකරණය ලබාදෙයි
එක්සත් ජනපද තානාපතිනි ජූලී චංග් මහත්මිය, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) වෙත මූල්‍යකරණ සේවා ව්‍යාප්ත කිරීම සඳහා DFCC බැංකුව සහ එක්සත් ජනපද රජයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන නියෝජිතායතනයේ (USAID) පෞද්ගලික අංශ සංවර්ධන වැඩසටහන (Private Sector Development) අතර සිදුකෙරුනු අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගි වූවාය.
“MSME වෙත ණයදීමෙන්, මේ අභියෝගකාරී කාලයේ දළ දේශීය නිෂ්පාදිතය සහ රැකියා අවස්ථා වැඩිවනු ඇතැයි DFCC ආයතනය මෙන්ම එක්සත් ජනපද රජය ද විශ්වාස කරනවා. DFCC බැංකුව සමඟින් ඇති මේ හවුල්කාරීත්වය වැනි ප්‍රබල හවුල්කාරීත්ව හරහා අපට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ ආදායම් වැඩිකරගන්නට, ආයෝජන ආකර්ෂණය කරගන්නට සහ විශේෂයෙන්ම, කාන්තාවන්ට සහ තරුණ තරුණියන්ට රැකියා නිර්මාණය කර දෙන්නට උදව් කළ හැකියි“, යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චංග් මහත්මිය සඳහන් කළාය.

මෙම අවබෝධතා ගිවිසුම හරහා DFCC සහ USAID හි පෞද්ගලික අංශ සංවර්ධන වැඩසටහන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඇති මූල්‍ය නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීමටත්, MSME සඳහා ඩිජිටල් ව්‍යාප්තිය හා වෙළෙඳපොළ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් සහ MSME සඳහා විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් බැහැර පිහිටා ඇති ව්‍යාපාර සහ කාන්තා නායකත්වය සහිත එවැනි ව්‍යාපාර සඳහා වාණිජ ණය කරා ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීමටත් කටයුතු කරනු ඇත.
මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් පළ කරමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා “MSME ලෙස ගමන් ආරම්භ කළ අපේ බොහෝ සේවාදායකයින් ආර්ථිකයට වටිනාකම එකතු කරන විශාල සමාගම් සහ සමූහ ව්‍යාපාර බවට පත්වීම ගැන DFCC බැංකුවේ අප ආඩම්බර වෙනවා. USAID සහ Palladium සමඟින් ඇතිකර ගන්නා මෙම නව හවුල්කාරීත්වය හරහා, ශක්තිමත් ලෙස වෘද්ධිය සහ සංවර්ධනය සාක්ෂාත් කරගන්නය ශ්‍රී ලංකාවේ MSME අංශය, විශේෂයෙන්ම කාන්තා නායකත්වය සහිත ව්‍යාපාර සවිබල ගැන්වීම සහ ඒ සඳහා පහසුකම් සැලසීමට අපගේ ධාරිතාවය වැඩිකර ගැනීම සඳහා උද්යෝගයෙන් බලාපොරොත්තු වෙනවා“, යනුවෙන් සඳහන් කළේය.
1955 දී පිහිටුවන ලද DFCC බැංකුව, දකුණු ආසියාවේ ඇති පැරණිතම සංවර්ධන බැංකුවකි. එම බැංකුව ඓතිහාසිකව පුද්ගලික අංශයේ දියුණුව සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති අතර වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමාගම් බවට පත්ව ඇති බොහෝ ආරම්භක ව්‍යාපාර සඳහා මූල්‍යාධාර ලබා දී ඇත. 2021 ජූලි මාසයේ දී DFCC බැංකුවට එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් (DFC) ඇමරිකනු ඩොලර් මිලියන 150ක ණය මාර්ගයක් ප්රදානය කරන ලදී. එමඟින් වරණීය පොලී අනුපාත සහ රක්ෂණ විකල්ප ඇතුළු මූල්‍ය සහ මූල්‍ය නොවන සේවා කිහිපයක් හරහා කාන්තා නායකත්වය සහිත ව්‍යාපාරවලට ප්රතිලාභ ලබා දීම පිණිස "DFCC ආලෝක" දියත් කරන ලදී.
MSME තරඟකාරීත්වය, ඵලදායී රැකියා, නවෝත්පාදනය සහ වෙළෙඳපොළ සබඳතා වැඩිකරගන්නට හේතුවන මූල්‍යකරණය සඳහා පහසුකම් සැලසීම හරහා MSME ඇති මූල්‍යකරණ අවස්ථා වඩාත් පුළුල් කරන්නට USAID PSD ව්‍යාපෘතියෙන් කටයුතු කරනු ඇත. මෙය ස්වශක්තිය වර්ධනයටත්, ස්ථායිතාවය ශක්තිමත් කිරීමටත් ආර්ථික වෘද්ධිය ප්‍රවර්ධනය කිරීමටත් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර කාලයක් තිස්සේ පවත්නා හවුල්කාරීත්වයේ එක් අංගයකි.
Video Story