December, 4, 2015
බැංකු හා මූල්‍ය ආයතනවල තැන්පතු මුදල් ආපසු ගැනීමේ දී ගාස්තුවක් අයකිරීම සඳහා මෙවර අයවැයේ දී යෝජනා විය. එහිදී වැඩිදුරටත් කියැවුණේ රුපියල් මිලියන 1 සිට මිලියන 10 දක්වා වන ආපසු ගැනීම් සඳහා 2% ක ගාස්තුවක් අය කරන බවත්, රුපියල් මිලියන 10 ඉක්මවනු ලබන ආපසු ගැනීම්වලට 3% ක ගාස්තුවක් අය කිරීමට නියමිත බවත්ය. මේ අනුව යම් ගනුදෙනුකරුවකු විසින් සිය තැන්පතු මුදලින් රුපියල් මිලියනයක මුදලක් ආපසු ලබාගතහොත් ඒ වෙනුවෙන් රුපියල් විසි දහසක ගාස්තුවක් ගෙවීමට ඔහුට සිදුවනු ඇත.
මුදල් අමාත්‍යවරයා මෙහිදී කියා සිටින්නේ ආරක්ෂිත හේතුමත මුදල් ප්‍රවාහනය අධෛර්යමත් කිරීම සඳහා මෙම යෝජනාව කර ඇති බවයි. එහිදී වැඩිදුරටත් සඳහන් වන්නේ මුදල් ආපසු ගැනීමේ දී මුදල් වෙනුවට බැංකු අණකරයක් මගින් අදාළ මුදල ආපසු ලබා ගත හැකි බවත්, බැංකු අණකරයක් සඳහා අයකරන ගාස්තුව එක් අණකරයක් සඳහා රුපියල් 150 නොඉක්මවිය යුතු බවත්ය.
මේ පිළිබඳව අප ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශිකාවක කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දීමක් සිදුකෙරී නැති බවයි. එසේම බැංකු හා මූල්‍ය ආයතන කිහිපයකින්ම අද දෙරණ Biz මේ පිළිබඳව විමසීමක් කරනු ලැබූ අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් මේ දක්වා නිකුත් වී නොමැති බැවින් එලෙස මුදල් ලබා ගැනීමක දී කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැති බව ඔවුන් පවසන ලදී.
මෙහිදී එක් මූල්‍ය ආයතනයක නිලධාරියෙකු කියා සිටියේ, මුදල්වලින් කරන ආපසු ගැනීම් අධෛර්යමත් කිරීම සඳහා ගෙන ඇති මෙම පියවර, එක් වරක දී සිදුකරන ගනුදෙනුවක් මත පමණක් නොව, මාසයක් වැනි කාලපරාසයක් තුළ දී සිදුකරන මුදල් ආපසු ගැනීම්වල මුළු එකතුවට අදාළව ගණනය කරනු ලබන ගාස්තුවක් විය හැකි බවයි. එනම් යම් නිශ්චිත කාලපරාසයකු තුළ දී රුපියල් මිලියනයක මුදලක් ලක්ෂ 2, 5 සහ 3 යනා දී වශයෙන් අවස්ථා කිහිපයක දී ආපසු ගතහොත් එහිදී මුළු වටිනාකම ගාස්තුව සඳහා යටත් විය හැකි බව ඔහුගේ අදහසයි.
කෙසේ වෙතත් මුදල් ආපසු ගැනීමේ දී බැංකු අණකරයකින් ලබා ගතහොත් ගෙවීමට සිදුවන්නේ බැංකු අණකරයේ ගාස්තුව පමණි.
බැංකු අණකරයක් යනු බැංකුවක් විසින් නිකුත් කරනු ලබන චෙක්පතකි. ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයට සිදුකරන ගෙවීමක් වෙනුවෙන් ගාස්තුවක් ගෙවා බැංකුවකින් මෙවැනි චෙක්පතක් ලබා ගත හැකිය. ඒ වෙනුවෙන් බැංකුව ගාස්තුවක් අයකරනු ලබන බොහෝ විට එය රු. 150 ක් වැනි මුදලකි. බැංකු අණකරය අනිවාර්යයෙන්ම රේඛනය කරන ලද චෙක්පතකි. එම නිසා එය මුදල් කර ගැනීමට නම් ලබන්නාට අනිවාර්යයෙන්ම බැංකු ගිණුමක් තිබිය යුතුය.
Video Story