රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ගන්න ඉන්දියාව සැරසෙයි

    March, 14, 2022

    රුසියාවට එරෙහිව බටහිර රටවල් පනවා ඇති දැඩි සම්බාධක මධ්‍යයේ වුවත් බොරතෙල් සහ අනෙකුත් භාණ්ඩ අඩු මිලට මිලදී ගැනීම සදහා රුසියාව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවක් සලකා බැලීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ඉන්දියානු බලධාරීන් දෙදෙනෙකු රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ.

    තම ඉන්ධන අවශ්‍යතාවයෙන් 80%ක් ආනයනය කරන ඉන්දියාව, ඉන් 2% - 3% අතර ප්‍රමාණයක් රුසියාවෙන් ආනයනය කරනු ලබයි. ඉන්දියාව පවසන්නේ මේ වන විට මෙම වසර තුළ දී ඉන්ධන මිල 40% කින් පමණ ඉහළ ගොස් ඇති බැවින්, ඉන්ධන ආනයන වියදම අඩුකරලීම සඳහා රුසියාවෙන් මිල දී ගන්නා ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීම උපකාරී වන්නේ නම් එය සලකා බලන බවයි.

    “තෙල් සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩ සඳහා රුසියාවෙන් විශාල වට්ටමක් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. අපි එය භාර ගැනීමට සූදානම්. ඒ සඳහා අපට ටැංකි, රක්ෂණ ආවරණ වැනි ගැටළු කිහිපයක් විසඳා ගත යුතුයි.ඒවා විසඳා ගත් පසු එම වට්ටම් දීමනා ලබා ගන්න අපි කටයුතු කරනවා“, යැයි ඉන්දියානු රජයේ බලධාරියෙක් පවසා තිබේ.

    පනවා ඇති සම්බාධක හේතුවෙන් ඇතැම් රටවල් රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීම මඟ හරිමින් සිටිය ද, ඉන්දියාව එවැනි සම්බාධක හමුවේ රුසියාවෙන් තම ඉන්ධන අවශ්‍යතාවන් සපුරාගැනීමෙන් වැලකී නොසිටින බව ද එම ඉන්දියානු බලධාරීන් අවධාරණ්‍ය කර සිටී.

    ඉන්ධන සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩ මිල දී ගැනීම සඳහා ඉන්දියා - රුසියා වෙළඳ යාන්ත්‍රණයක් පිහිටුවීමේ කටයුතු සිදු වෙමින් පවතින බව පැවසූ ඉන්දියානු බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ කොපමණ තෙල් ප්‍රමාණයක් මිල දී ගන්නවා ද, ඒ සදහා ලැබෙන වට්ටම් මොනවාද යන්න මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි.