March, 21, 2022
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා 2022 මාර්තු 18 වැනි දින විදේශ අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොන්ග් මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වී ය.
චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 65ක් සපිරීමේ සංවත්සරය සහ 1952 වසරේ දී දෙරට අතර අත්සන් තබන ලද රබර් සහල් ගිවිසුමට වසර 70ක් සපිරීමේ සංවත්සරය නිමිත්තෙන් චීන බලධාරීන් විසින් නිකුත් කරන ලද මුල් දින කවරයක් මෙම හමුව අතරතුර දී චීන තානාපතිවරයා විසින් විදේශ අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.
මෑතක දී පැවති මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසි වාරයේ දී චීන රජය දැක්වූ සහයෝගය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය. මීට පෙර පැවති මානව හිමිකම් කවුන්සිල සැසි වාරවලදී ද චීනය ලබාදුන් සහයෝගය පිළිබඳව සිහිපත් කළ අමාත්‍ය පීරිස් මහතා, ඉදිරියේදී ද සහය අවශ්‍ය වන අවස්ථාවලදී චීනය ශ්‍රී ලංකාවට සහය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුම (FTA) සම්බන්ධයෙන් මේ වන විට පවත්වන සාකච්ඡා පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාවේ අදාළ රේඛීය ආයතනවල සහය ඇතිව නිදහස් වෙළඳ ගිවිසුමේ 7 වැනි වටයේ සාකච්ඡා නුදුරේදීම ආරම්භ කරන බවද අමාත්‍ය පීරිස් මහතා මෙහිදී අවධාරණය කළේ ය.
දැනට පවතින ආහාර, ඖෂධ සහ සිමෙන්ති හිඟය පිළිබඳ ගැටළු විසඳීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටු තුනක් පත් කරනු ලැබූ බවද විදේශ අමාත්‍යවරයා චීන තානාපතිවරයාට දැනුම් දුන්නේ ය.
චීනය නිදහස් වෙළඳ ගිවිසුම් 26 කට වඩා වැඩි ප්‍රමාණයකට අත්සන් තබා ඇති බව අවධාරණය කළ තානාපති චී මහතා, ශ්‍රී ලංකාව සහ චීනය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරීම හරහා ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ සහ නිෂ්පාදන සඳහා බොහෝ ප්‍රයෝජන හිමිවනු ඇතැයි සඳහන් කළේ ය. නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ 7 වැනි වටයේ සාකච්ඡා කඩිනමින් යළි ආරම්භ කරන ලෙසද ඔහු ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
තවද, විදේශ අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පුද කළ චීන තානාපතිවරයා, 2021 වසරේ දෙසැම්බර් මස අවසානයේ දී රාජ්‍ය මන්ත්‍රණ සභික සහ විදේශ අමාත්‍ය වොන්ග් යී මහතා ශ්‍රී ලංකාව තුළ සිදු කළ සාර්ථක නිල සංචාරය සංවිධානය කිරීම සම්බන්ධයෙන් තමන් මහත් තෘප්තියට පත්වන බව ප්‍රකාශ කළේ ය. තවද, චීන ප්‍රජා පක්ෂය ස්ථාපිත කොට වසර 100 ක් සපිරීමේ සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය නිකුත් කළ සමරු කාසිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත තානාපතිවරයා සිය ස්තුතිය පළ කළේ ය.
තවද, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විහාරස්ථාන අරමුණු කරගනිමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සංවිධානය කළ සුබසාධන කටයුතු කිහිපයක් පිළිබඳව මෙන්ම, අසරණ ජනතාව සඳහා ආහාර පාර්සල් 150 ක් ලබාදීම පිළිබඳව ද චීන තානාපතිවරයා විසින් විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කරන ලදී.
චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්නා පක්ෂ මට්ටමේ සබදතා, දෙරටෙහි ජනතාව අතර පවත්නා පුද්ගලාන්තර සබඳතා, දෙරටෙහි රාජ්‍යයන් අතර පවත්නා සබඳතා යනාදිය ඇතුළුව දෙරට අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය සිය ඉමහත් තෘප්තිය පළ කළහ.
කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
Video Story