සංචාරකයින් ලක්ෂ 2 1/2 ක් ඇවිත්

    March, 22, 2022

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් රටවල් ගණනාවකට පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ මේ වන විට මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබී තිබේ.

    ඒ අනුව 2022 වසරේ මාර්තු 20 දක්වා වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 250,881ක් ලෙසින් වාර්තා වී ඇත. මෙම සංඛ්‍යාව 2021 වසරේ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 194,495 ක්වූ අතර ඒ හ සැසඳීමේ දී මෙය සුවිශේෂී අගයයකි.

    එම අගයන් ප්‍රතිශතයක් ලෙස පහත අයුරින් දැක්විය හැකිය.

    2022 මාර්තු 01 සිට 20 දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 72,047ක් වන අතර ඒඅතරින් වැඩිම සංචාරකයින් ප්‍රමාණය වන 4,385ක් පැමිණ ඇත්තේ මෙම මස 19 වන දිනයි.

    රුසියානු යුක්රේන යුධ ගැටුම් ආරම්භ වීමට පෙර මෙරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි මුල් රටවල් 5 අතර මෙම රටවල් දෙක පැවති නමුත් මේ වන විට මෙරටට පැමිණෙන යුක්රේන සංචාරකයින් ගේ පහළ යාමක් දක්නට ඇත. කෙසේවෙතත් රුසියාව මේ වන විටත් මෙරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙන මුල් රටවල් තුන අතර පැවතීම විශේෂත්වයකි.

    මේ අතර 2022 වසරේ මාර්තු මාසයේ 20 දක්වා වූ කාල සීමාව තුළ මෙරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති රට වනුයේ ඉන්දියාවයි. එම සංඛ්‍යාව 15,907කි. දෙවනුවට එක්සත් රාජධානියෙන් 7,477ක් රුසියාවෙන් 7,439ක් ජර්මනියෙන් 6,685ක් සහ ප්‍රංශයෙන් සංචාරකයින් 3,876ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇත.