December, 9, 2015
මෙරට විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් (LPG) ආනයනකරු මෙන්ම, වෙළඳපල ප්‍රමුඛයා ද වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම, මේ වසරේ පළමු මාස දහය තුළදී ගෘහස්ත ගෑස් අලෙවියේ 30% ක වර්ධනයක් අත් කර ගැනීමට සමත් වෙයි. නව රජය ගෑස් මිල අඩු කිරීමට ගත් පියවර හේතුවෙන් මෙම කැපී පෙනෙන වර්ධනය ළඟා කර ගැනීමට හැකි වූ බව සමාගම පවසයි.
කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට රජය විසින් මෑතකදී ගත් තීරණයට අනුව, මේ වසර අග භාගයවන විට LP ගෑස් අලෙවිය තවදුරටත් වර්ධනය වනු ඇතැයි සමාගමේ විශ්වාසයයි.
පසුගිය වසරක කාලයක් තුළදී ගෑස් මිල 44% කින් අඩු කිරීමත් සමග, මෙතෙක් තමන් භාවිතා කළ සම්ප්‍රදායික දර වෙනුවට, LP ගෑස් භාවිතා කිරීමේ අවස්ථාව දිවයින පුරා ග්‍රාමීය සහ නාගරික, මධ්‍යම සහ පහළ මධ්‍යම පාංතික ජනතාවට හිමි විය.
73% ක වෙළඳපල හිමිකාරීත්වයක් දරන ලිට්රෝ ගෑස් සමාගම, සිය නවතම ඉදිකිරීම් කටයුතු හේතුවෙන් අනාගත පාරිභෝගික ඉල්ලුමට වඩාත් හොඳින් මුහුණ දීමට සූදානම්ව සිටී.
"සතුටුදායක වෙළඳපල තත්ත්වයන් හමුවේ පසුගිය මාස දහය තුළ කැපී පෙනෙන ධනාත්මක වර්ධනයක් අත් කර ගැනීමට අපට හැකි වුණා. වේගයෙන් ව්‍යාප්තවන අපගේ ගබඩා පහසුකම් සහ අලෙවි ජාලය, සෑම නිවසකටම LP ගෑස් ලබා දීම සඳහා අප ගන්නා උත්සාහය මැනවින් පිළිබිඹු කරනවා." ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ විධායක සභාපති ශලිල මුණසිංහ මහතා සඳහන් කළේය.
සිය ගබඩා ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුව ලිට්රෝ ගෑස් සමාගම හම්බන්තොට වරායේ ඉදි කළ නවතම LP ගෑස් පර්යන්තය මෙට්‍රික් ටොන් 3,000 ක ගබඩා ධාරිතාවකින් යුතු වෙයි. මෙම නවතම ගබඩා පර්යන්තය ද සමග මේවන විට ලිට්රෝ ගෑස් ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 11,000 දක්වා වර්ධනය වී තිබේ.
කෙරවලපිටියේ පිහිටා ඇති LP ගෑස් ප්‍රධාන පර්යන්තයේ ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 8,000 කි. ලිට්රෝ ගෑස් සමාගම නවීන පහසුකම්වලින් යුතුව ඉදි කර ඇති කෙරවලපිටිය පිරවුම් මධ්‍යස්ථානය වෙත සිය පිරවුම් කටයුතු ගෙන යාමට කටයුතු කර ඇති අතර, එය ආසියාවේ පිහිටි විශාලතම LP ගෑස් පිරවුම් මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.
"අප විසින් අලුතින් ඉදි කරන ලද හම්බන්තොට ගබඩා පර්යන්තයට අමතරව තවත් පිරවුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ මූලික කටයුතු මේවන විටත් අප ආරම්භ කර තිබෙනවා. එමගින් මෙරට දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වල වෙසෙන ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම අපගේ අරමුණයි." ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේය.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් අලෙවිකරණයේ සහ විකුණුම් ක්ෂේත්රයේ මෙරට ප්‍රමුඛයා වෙයි. ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම යනු එහි අනුබද්ධිත සමාගමයි. "මෙරට ගෑස් වෙළඳපල තුළ ඇති වූ මෑතකාලීන වෙනසත් සමග අපගේ අලෙවිය විශාල වර්ධනයක් පෙන්නුම් කළා. පාරිභෝගික ජනතාව වෙත තවදුරටත් ළඟා වීම සඳහා අපගේ බෙදාහැරීම් සහ අලෙවි ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් අප අඛණ්ඩව කැප වනවා." ලිට්රෝ ගෑස් සමාගමේ විකුණුම් සහ අලෙවි අධ්යක්ෂ චමින්ද එදිරිවික්රම මහතා අදහස් පළ කළේය.
වර්තමානයවන විට ලිට්රෝ ගෑස් සමාගම දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථාන 5,000 ක් තුළින් සිය පාරිභෝගික ජනතාවට සේවය සලසයි. දැඩි ආරක්ෂණ විධික්රම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලිට්රෝ ගෑස් සමාගම කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. සමාගම අනුගමනය කරන ව්‍යාපාරික මූලෝපායන් ද ක්ෂේත්රය තුළ වැදගත් ආදර්ශකයක් ලෙස සැලකේ.
Video Story