විදේශ විනිමය අර්බුදය අපි විසින් ඇති කළ එකක් බව කීම නොදැනුවත්කම නිසා කියන කතාවක් – වෙළෙඳ ඇමති බන්දුල

    March, 30, 2022

    වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදය තම රජය විසින් ඇති කළ එකක් බවට පැවසීම, ආර්ථික විද්‍යාව පිළිබඳ නොදැනුවත්කම නිසා කියන කතාවක් බවත්, බාහිර කම්පනයන්ට ඔරොත්තු දීම සඳහා විශාල ශක්තිමත් ආර්ථිකයක් නැති සෑම රටකටම මේ අර්බුදය පොදු එකක් බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (30) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

    මේ විදේශ විනිමය අර්බුදය අප විසින් ඇති කළ එකක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට බෝලය පාස් කිරීම හුදු ආර්ථික විද්‍යාව නොදැනුවත්කම තුළ, හුදු අපේ හිත ඇතුලේ තියන ආවේගය තුළ කියන කතාවක්. ඇත්ත අර්බුදය විශාල ලෙස නිර්මාණය වෙලා ඇවිල්ලා ඒ අර්බුදය ඉතිහාසයේ නොවි වීරු ලෙස වර්ධනය වෙන්න ඊට පස්සේ හේතු කිහිපයක් බලපෑවා.

    එකක් පාස්කු ප්‍රහාරය. පසුගිය රජය සමය යටතේම ජාතික ආරක්ෂාව සැපයීමට අපොහොසත් වීමෙන් පාස්කු ප්‍රහාරය එල්ල වුණාම සංචාරක ව්‍යෘපාරය, සංචාරකයෝ දුවන්න ගත්තා. 2018 දී සංචාරකයෝ ලංකාවට පැමිණියා විසිතුන් ලකෂයක් (2,300,000). ඒ තුළින් ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක ආදායමක් ලැබුවා.

    පාස්කු ප්‍රහාරයත් ඉන් පසුව ඇති වූ කොවිඩ් 19 වසංගතයත් නිසා ලෝකයේ රටවල සංචරනය සීමා කිරීමෙන් සංචාරක පැමිණීම් සම්පූර්ණයෙන් නතර වුණා. එතකොට අපට ඇති වෙච්ච සංචාරක ව්‍යාපාරයේ අහිමි වීමෙන් රටට ගලා එන විදේශ විනිමය අඩු වුණා. ඇමරිකානු ඩොලර් බිලියන 8කට ආසන්න ප්‍රමාණයක් අහිමි වුණා. මේ ඩොලර් බිලියන 8ක් කියන්නේ ඉතා විශාල ධනස්කන්දයක්.

    උදාහරණයක් වශයෙන් රටේ හදලා තිබුණ ලොකුම වරාය හම්බන්තොට වරාය, විකුණලා ලබා ගන්න ලැබුනේ අපට කීය ද ඇමරිකානු ඩොලර් බිලියන 1.4 යි. මේ රටට ලැබුන ලොකුම විදේශ ආයෝජනය තමයි port city ව්‍යාපෘතිය. කීය ද, ඇමරිකානු ඩොලර් බිලියන 1.4 යි. හම්බන්තොට වරායයි, කොළඹ පෝර්ට් සිටියයි දෙකම 2.8යි. සංචාරක ව්‍යාපාරයෙන් විතරක් අපට නැති වෙනවා බිලියන 8ක්.

    අර වගේ ඒවා කීයක් වික්කොත් ද ඒ ප්‍රමාණය ආවරණය කරන්න පුලුවන් කියලා ඔබට හිතන්න පුළුවන්කම තියනවා.

    ඒ වගේම එතනින් පස්සේ ඇති වෙච්ච තත්ත්වය තුළ කොවිඩ් 19 වසන්ගතයෙන් පසු විදේශ සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් ලංකාවට පැමිණියා. ඒ වගේම විදේශ සේවා නියුක්තිකයන්ගේ ආමුඛ ප්‍රේෂණ අඩු වුණා. සංචාරක ව්‍යාපාරයෙන් එන ප්‍රමාණය අඩු වුණා. ඒ අතර ආනයන වියදම් විශාල ලෙස ඉහළ ගියා. කන්ටේනර් ගාස්තු අසාමාන්‍ය ලෙස වැඩි වුණා. නැව් ගාස්තු අසාමාන්‍ය ලෙස වැඩි වුණා.

    ලෝකයේ ඛණිජ තෙල් මිල යනාදිය වැඩි වෙමින් එන අවස්ථාවක තව දුරටත් මේ තත්ත්වය මෑත ඉතිහාසයේ දී උග්‍ර කරනු ලැබුවා, රුසියානු යුක්රේන යුද්ධය කරණ කොට ගෙන. මුළු ලෝක වෙළඳපොලේ ගෑස් සැපයුමෙන් 40%ක් කරන යුක්රේනය මුළු වෙළඳපොලෙන් ලෝක වෙළඳපොලට 10%ක් ඛනිජ තෙල් සපයන රුසියාව මේ යුද්ධයට පැටලීම කරණකොට ගෙන ලෝක සැපයුම් ජාලය අඩපණ වෙලා තියනවා. මේ නිසා මුළු ලෝකයෙම හිඟයක් තියනවා.

    අද පකිස්තානයෙත් මේ තත්ත්වය පොදු දෙයක්. භාණ්ඩ මිල වැඩියි, භාණ්ඩ හිඟයි. පෝලිම් තියනවා. ඒ නිසා ඒ රටේ සාමාන්‍ය ජනතාවට දරාගන්න බැරි පීඩනයක් තියනවා. ඒ නිසා ඒ විපක්ෂ විසින් පකිස්තාන රජයේ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තියනවා. තුර්කියේ තත්ත්වයත් ඒකයි.

    තුර්කිය තුළත් දිගටම මේ තත්ත්වය මතුවෙනවා.

    බාහිර කම්පනයන්ට ඔරොත්තු දෙන්න විශාල ශක්තිමත් ආර්ථිකයක් නැති හැම රටකටම මේ අර්බුදය පොදු එකක්.