March, 31, 2022
රට තුළ පවත්නා විදුලිබල අර්බුදය හමුවේ අද (31) දින කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පැය 2ක කාලයකට පමණක් සීමා කර තිබුණු පසුබිමක සියලු කොටස් මිල දර්ශක අගය මාස 06කට පසු පළමු වරට ඒකක 9,000 සීමාවෙන් මෙපිටට අද දින පැමිණෙන ලදී.
ඒ අනුව පස්වරු 12.30 ට දෛනික ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 391.02 කින් පහළ ගොස් ඒකක 8,903.87 ක් ලෙසින් ද, S&P SL20 දර්ශකය ඒකක 221.21 කින් පහළ ගොස් ඒකක 2,974.98 ක් ලෙසින් ද සටහන් විය.
රු. බිලියන 2.32 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
සියලු කොටස් මිල දර්ශකය මෙලෙස ඒකක 9,000 සීමාවෙන් පහළට පැමිණියේ 2021 සැප්තැම්බර් 24 දිනෙන් පසුවය.
අද දින ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘත වී මිනිත්තු 6 කට පසුව දෛනික ගනුදෙනු මිනිත්තු 30 ක කාලයක් සඳහා අත්හිටුවීමක් සිදුකෙරුණු අතර S&P SL20 දර්ශකය පෙර දිනයට වඩා 5%ක ප්‍රමාණයකින් කඩා වැටීම මීට හේතුවයි.
S&P SL20 දර්ශකය මෙලෙස කඩා වැටීම හේතුවෙන් මෙම සතිය තුළ දී සිව්වතාවක් දෛනික ගනුදෙනු සැසිය තාවකාලිකව අත්හිටුවනු ලැබිණි.
සියලු කොටස් මිල දර්ශකයට අනුව 2022 පළමු මාස 03 තුළ දී 27.17% කින් කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.
Video Story