April, 5, 2022
ව්‍යවහාරික විද්‍යා පිළිබඳ බටහිර නෝර්වේජියානු විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය හා එක්ව නෝර්වේජියානු තානාපති කාර්යාලය විසින් ‘‘පිරිසිදු හා පුනර්ජනනීය බලශක්ති යුගයක් කරා, ශ‍්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව ඉටු කිරීම සඳහා ඇති අවස්ථා’’ යන තේමාව යටතේ සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් අද සවස් භාගයේදී ගාලූ මුවදොර හෝටලයේදී පවත්වන ලදි. මෙම සම්මන්ත‍්‍රණයේ අරමුණ වූයේ ශ‍්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය හා සැපයුම ඉහළ නැංවිය හැකි ආකාර පිළිබඳ සාකච්ඡා කිරීමට පෞද්ගලික අංශය, ආධාර සපයන ආයතන සහ අනෙකුත් අදාළ ආයතන නියෝජනය කරන විශේෂඥයන් සහ විද්වතුන් එක්රැස් කිරීමයි.
මෙම සම්මන්ත‍්‍රණයට සහභාගී වූවන් අමතමින් මෙරට නෝර්වේජියානු තානාපති ගරු ටී‍්‍රනා යුරන්ලි එස්කෙඩාල් මහත්මිය සඳහන් කළේ ශ‍්‍රී ලංකාව විසින් 2050 වසර වන විට සඵලදායී පුනර්ජනනීය විදුලිබල උත්පාදන ඉලක්ක වෙත ළගා වීමට එකගතාව පළ කර ඇති බවයි. මෙම ඉලක්කය කරා රට ගමන් කිරීමේදී විශේෂයෙන්ම පෞද්ගලික අංශය වෙත වැඩියෙන් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම උදෙසා වඩා සුදුසු ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම, නවෝත්පාදනීය මූල්‍ය ආකෘති සකස් කිරීම සහ නව පරිචයන් ක‍්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් බවද ඇය අවධාරණය කළාය. මෙහිදී ඊට අදාළ පාර්ශවකරුවන් සියලූ දෙනාගේ සහභාගීත්වය සහ උපදේශනය සහිතව නව නිපැයුම් හා සොයා ගැනීම් කෙරෙහි අවධාරණය යොමු කරමින් පර්යේෂණ අවස්ථා උදෙසා වඩා වැඩි ඉඩකඩක් හා අවස්ථා බිහි කිරීමේ වැදගත්කම කෙරෙහිද අවධානය යොමු කෙරිණ. එම ඉලක්ක සපුරා ගැනීම සඳහා රජය, විද්වතුන් හා පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළ තානාපතිතුමිය තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ පුනර්ජනනීය බලශක්ති මූලාශ‍්‍ර රාශියකින් පොහොසත් රටක් වන නෝර්වේ රාජ්‍යය ශ‍්‍රී ලංකාවට සිය පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සාක්‍ෂාත් කරගනු පිණිස සහයෝගය දැක්වීමට ඇපකැප වී සිටින බවයි.

පිරිසිදු සහ පුනර්ජනනීය බලශක්ති යුගයක් කරා සංක‍්‍රමය වීමට ශ‍්‍රී ලංකාවට හැක්කේ කෙසේද යන්න සහ නෝර්වේජියානු සමාගම් හා විශ්වවිද්‍යාලවලට ඒ වෙනුවෙන් දායක විය හැකි ආකාර කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යවහාරික විද්‍යා පිළිබඳ බටහිර නෝර්වේජියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධයලන් වෙලාඋතුපිල්ලේ මහත් පෙන්වා දුන්නේ ශ‍්‍රී ලාංකික පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරත්වයද සහිතව නෝර්වේජියානු පෞද්ගලික සමාගම් හා විශ්වවිද්‍යාලවලට ශ‍්‍රී ලංකාව තුළ පවතින බලශක්ති ඉල්ලූම සපුරා ගනු පිණිස සාධනීය දායකත්වයක් ලබා දීමේ හැකියාව ඇති බවයි. කිලිනොච්චියේ පවතින නෝර්වේජියානු ආධාර මත ක‍්‍රියාත්මක වන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරය ඊට නිදසුනක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් පළ කළ තිරසාරතාව හා පිරිසිදු බලශක්තිය පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය විදුර රළපනාව මහතා පළ කළේ මෙවැනි අදහසකි: ‘‘කාලගුණික අර්බුදය නිසා ස්වභාවික පද්ධති ආශ‍්‍රිතව විවිධ ගැටලූ නිර්මාණය වන පසුබිමක් තුළ ශීඝ‍්‍ර කාබන්හරණය අපගේ ජීවිත කාලය තුළම ජයගත යුතු ප‍්‍රමුඛ අභියෝගය බවට පත්ව තිබෙනවා. අනාගතය වෙනුවෙන් අපගේ බලශක්ති පද්ධතීන් ගැන අලූතින් සිතා බැලීමට අවස්ථාවක්ද එමගින් අප වෙත උදා වෙනවා. මේ නිසා, පුනර්ජනනීය බලශක්ති මූලාශ‍්‍ර හා සම්පත් රාශියකින් පොහොසත් රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව මෙම පරිවර්තනයේ පෙරමුණ ගත යුතුව තිබෙනවා’’
Current Solar AS හි ප‍්‍රධාන විධායක නිලධාරී ඉන්ග් විකෙස්දාල් මහතාද මෙහිදී ශ‍්‍රී ලංකාව තුළ සූර්ය බලශක්ති උත්පාදනය සඳහා ඇති අවස්ථා රැසක් පිළිබඳව අදහස් පළ කළ අතර Greenstat AS හි සභාපති ස්ටර්ල් පෙදර්සන් මහතා ශ‍්‍රී ලංකාව තුළ හයිඩ‍්‍රජන් විසඳුම් පිහිටුවීමට ඇති හැකියාව පැහැදිලි කළේය. Greenstat සමාගම 2022 මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය සමග ගිවිසුමක් අත්සන් තබන ලද අතර එහි අරමුණ වූයේ හරිත හයිඩ‍්‍රජන් උත්පාදනය කිරීම සඳහා වූ නියමු ව්‍යාපෘතියකට සහාය පළ කිරීමයි.
යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආරුලම්පන් අත්පුදරාජා, ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත කුමාරසිංහ, ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ නරේන්ද්‍ර ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදි.

Video Story