April, 28, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රථම GI (Geographical Indication) සහතිකය ලබාගත් නිෂ්පාදනයක් වන ශ්‍රී ලංකා කුරුඳු (Ceylon Cinnamon ) වෙත යුරෝපා සංගමය (EU) විසින් භූගෝලීය දර්ශක (GI) සහතිකය ප්රදානය කළ අතර එහි නිල උත්සවය ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිතයින් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කළ අතර කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී අප්‍රේල් 27 දින පැවැත්විණි.
මෙම අවස්ථාව සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන (EDB) වෙත රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් රැසකගේ සහය හිමිවූ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගම් නියෝජිත කාර්යාලය, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ ලෝක වෙළඳ සංවිධානය (WTO) විසින් තාක්ෂණික සහාය ලබා දුන් අතර නෙදර්ලන්තය පදනම් කරගත් වෙළඳ භාණ්ඩ සඳහා වන පොදු අරමුදල විසින් මූල්‍ය ආධාර ප්රදානය කරන ලදී.
යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi) පැවසුවේ “GI යනු නිෂ්පාදනයක් යම් ස්ථානයකට සම්බන්ධ කිරීම පමණක් නොව, එය නිෂ්පාදනය කරන පුද්ගලයින්ගේ කුසලතා සහ ජයග්‍රහණ හඳුනා ගැනීමයි. ශ්‍රී ලංකා කුරුඳු සම්බන්ධයෙන් ගත් කල, එය ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් කුළුබඩු නිෂ්පාදනය සමග බැඳී ඇති දිගු සම්ප්රදාය සහ පොහොසත් ඓතිහාසික පිළිගැනීම සහ ගුණාත්මකභාවය පිළිබඳ තහවුරු කිරීමකි. යුරෝපා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා කුරුඳු සඳහා අගය එකතු කළ නිෂ්පාදන භාණ්ඩ තරගකාරී තත්වයක් තුළින් අපනයන ඉහළ නැංවිය හැකි අතර, කුරුඳු අගයදාමය හරහා ඉහළ ආදායමක් සහ වැඩි රැකියා ප්‍රමාණයක් ගෙන එනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම GI සහතිකය ලබාගැනීමේ ප්රයත්නයට යුරෝපා සංගමයේ සහය ලබා දීම ගැන මම සතුටු වෙමි” යනුවෙනි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා පැවසුවේ, “ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වෙන කවරදාකටත් වඩා වැඩි කිරීම වැදගත් වන මොහොතක මෙම ජයග්‍රහණය ඉතාමත් ම වැදගත් වන බවයි. මෙම ජයග්‍රහණය අපගේ කුරුඳු කර්මාන්තයේ නියැලී සිටින්නන්හට ඉහළ මට්ටමකට ළඟා වීමට සහ රටට වැඩි ආදායමක් උපයා ගැනීමට දිරිගැන්වීමක් වනු ඇතැයි මා බලාපොරොත්තු වන අතර මේ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටියි. ” යනුවෙනි.
ශ්‍රී ලංකාව ලොව විශාලතම කුරුඳු නිෂ්පාදකයා සහ අපනයනකරු වන අතර ගෝලීය වෙළඳපොළ කොටසෙන් 90% ක් දරයි. කුරුඳු වර්ග බොහොමයක් ඇතත්, ලංකා කුරුඳු විශේෂ වන අතර එහි ඇති සියුම් රසය සහ බොහෝ සෞඛ්‍ය ප්රතිලාභ සඳහා දායක වන ගුණාංග නිසා උසස් තත්වයෙහි ලා සැලකේ. කිසියම් කලාපයක් සහ නිෂ්පාදන භාවිතයක් සමඟ හඳුනාගෙන ඇති විශේෂ නිෂ්පාදනයක නම සහ වෙළඳ ලකුණ ආරක්ෂා කරන භූගෝලීය දර්ශකය, අනෙකුත් අඩු ගුණාත්මක කුරුඳුවලින් ලංකා කුරුඳු වෙන් කර තරගකාරී වාසියක් ගෙන එනු ඇත.
මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි සහ ලංකාවේ යුරෝපා සංගම් නියෝජිතයින් වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා, වැඩබලන අධ්යක්ෂ ජනරාල් මාලනී බදිදේගමගේ මහත්මිය ,අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් පාර්ශ්වකරුවන්, වෙළඳ අමාත්‍යාංශයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි නිලධාරීහු සහභාගී වූහ.

Video Story