මොනවාද මේ ‘හවාලා‘?

    May, 4, 2022

    හවාලා ගනුදෙනු පිළිබඳ හැඳින්වීමක්

    ලොව පුරා විසිරි සිටින නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජාලයන් ලෙස ක‍්‍රියාත්මක වන මෙම මුදල් පේ‍්‍රෂණ ක‍්‍රමයන් ඇතැම් විට සමාජයෙහි යම් නිශ්චිත ප‍්‍රජාවක් තුල මුදල් හුවමාරු කර ගැනීම සඳහා ක‍්‍රියාත්මක වනු දැක ගත හැකිය. ලොව පුරා විසිර පවතින මෙම ජාලයන්හි නියෝජිතයන් ගනුදෙනු වලට අදාළ මුදල් වටිනාකම් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමේ නියැලී සිටියි. හවාලා ක‍්‍රමය තුළ, හවාලා නියෝජිතයන් හෝ අලෙවිකරුවන් (Hawala Dars) විවිධ රටවල ජීවත් වන අතර ගනුදෙනු පියවීම් සම්පූර්ණයෙන්ම ඔවුනොවුන් අතර විශ්වාසය මත සිදු වේ. එක් රටක නියෝජිතයෙකු වෙනත් රටකට මුදල් යැවීමට අවශ්‍ය පුද්ගලයින්ගෙන් එම රටෙහිදී මුදල් එකතු කරන අතර මුදල් ලැබිය යුතු රටෙහි නියෝජිතයා එම මුදල් අපේක්ෂිත ලබන්නන්ට ඔවුන් කැමති මුදල් වර්ගයකින් පියවනු ලබයි. මෙලෙස සිදුවන මුදල් පේ‍්‍රෂණයන්හි දී, දේශසීමා හරහා භෞතික මුදල් සංචලනයක් සිදු නොවේ, කිසිදු මූල්‍ය ආයතනයක් දේශසීමා ගනුදෙනුවලට සම්බන්ධ ද නොවේ. එමෙන්ම, මෙම ක‍්‍රමය යටතේ සිදුවන කිසිදු ගනුදෙනුවක් සඳහා නිසි ලෙස සටහන් තැබීමක් ද සිදු නොවේ. කෙසේ වෙතත්, ගනුදෙනුකරුවෙකුට එම මුදල් ගිණුමකට බැර කිරීමේ කිරීමේ අවශ්‍යතාවයක් පවතින අවස්ථාවක, අවශ්‍යනම් මූල්‍ය ආයතන හරහා එය සිදු කළ හැකිය.

    හවාලා ක‍්‍රම භාවිතා කරන්නන්

    ආර්ථිකයක සිටින විවිධ තරාතිරමේ පුද්ගලයන් සිය නීත්‍යානුකූල මෙන්ම නීත්‍යානුකූල නොවන අරමුණු සඳහා ද මෙම හවාලා ක‍්‍රම භාවිතා කරනු ලැබේ. නිදසුන් ලෙස

    අ) විදේශීය ශ‍්‍රමිකයන් තම මව් රටවල සිටින ඥාතීන් වෙත මුදල් යැවීම සඳහා,

    ආ) ආනයනය/අපනයන කරන ලද භාණ්ඩ සඳහා මුදල් ගෙවීම් සහ මුදල් ලබා ගැනීම් සඳහා,

    ඇ) දෙමාපියන් තම දරුවන්ගේ විදේශ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් යැවීම සඳහා,

    ඈ) අඩු සංවර්ධිත බැංකු ප‍්‍රවේශයන් පවතින ප‍්‍රදේශ වල ජීවත් වන පුද්ගලයින්ගේ මුදල් හුවමාරුව සඳහා,

    ඉ) නිසි වීසා පේ‍්‍රෂණ නොමැතිව විදේශගතවී සිටින සංක‍්‍රමණිකයන් සහ,

    ඊ) මුදල් විශුද්ධිකරණය කරන්නන් සහ ත‍්‍රස්තවාදයට මුදල් සපයන්නන් වැනි නීත්‍යානුකූල නොවන අයවලූන් සිය ගෙවීම් අවශ්‍යතා සඳහා.

    හවාලා මුදල් පේ‍්‍රෂණ ක‍්‍රමවල ප‍්‍රධාන ලක්ෂණ

    හවාලා ඇතුළු අවිධිමත් පේ‍්‍රෂණ ක‍්‍රමයන්හි පවතින ඒවාට අවේනික විශේෂිත ලක්ෂණ නිසා, මෙම පේ‍්‍රෂණ ක‍්‍රමයන් භාවිතා කරන්නන් සඳහා ආකර්ෂණීය වේ. එම විශේෂ ලක්ෂණ අතර පහසු ප‍්‍රවේශ්‍යතාව වැදගත් තැනක් ගනී. අවිධිමත් පේ‍්‍රෂණ ජාලයන්හි නියෝජිතයන් ලොව පුරා සෑම ප‍්‍රදේශයකම විසිරී පැතිරී සිටින බැවින් විධිමත් බැංකු පහසුකම් සීමිත හෝ නොමැති දුරස්ථ ප‍්‍රදේශවල පවා ඕනෑම ආර්ථික ක‍්‍රියාකාරකමක් සඳහා මුදල් පේ‍්‍රෂණය කිරීම පිණිස ඔවුන්ගේ සේවාවන් ලබා ගත හැකිය. භාවිතා කරන්නන් සඳහා දැරිය හැකි මට්ටමේ සේවා ගාස්තු ද මේවායෙහි පවතින තවත් විශේෂ ලක්ෂණයකි. විධිමත් බැංකු මාර්ග හරහා අරමුදල් පේ‍්‍රෂණය කිරීමේදී අදාළ වන ගාස්තු සමඟ සසදන විට හවාලා ගනුදෙනු හා සම්බන්ධ කොමිස් මුදල් වඩා ලාභදායි වේ. එසේම, ඇතැම් අවස්ථා වල, හවාලා නියෝජිතයින් විසින් පිරිනමනු ලබන විනිමය අනුපාතිකය විදේශ විනිමය සඳහා බලයලත් නියෝජිතයින් විසින් සිය ගනුදෙනුකරුවන්ට ලබා දෙන විනිමය අනුපතිකයන්ට වඩා ආකර්ශනීය වේ. ගනුදෙනුවල වේගවත් භාවයද මෙහිදී සැලකිය යුතු කරුණකි. මෙම අවිධිමත් මුදල් පේ‍්‍රෂණ ක‍්‍රම තුළ ව්‍යවහාර මුදල් සංචලනයක් සිදු නොවන අතර විදේශ මුදල් වටිනාකමට සමාන මුදලක් ලබන්නාගේ ගිණුමකට අරමුදල් තැන්පත් කිරීමක් ලෙස හෝ ලබන්නා වෙත ව්‍යවහාර මුදලින් කරනු ලබන ගෙවීමක් ලෙස මෙම ගනුදෙනු පියවනු ලැබේ.

    ඇතැම් අවස්ථාවලදී, පැය කිහිපයක් ඇතුළත ලබන්නා හට මුදල් සපයා දීමේ හැකියාවක් මෙම ක‍්‍රමය තුල පවතින අතර ඇතැම් විට අදාළ හවාලා නියෝජිතයාට ගනුදෙනුවෙහි මුරපදය හෙළි කිරීමෙන් පසු ඔවුන්ගේ නිවසටම මුදල් ලබා දීමක් සිදු වේ. ගනුදෙනු සිදු කිරීමේ ඇති පහසුවද මෙහි දැකිය හැකි තවත් ලක්ෂණයකි. කුවේට්, දකුණු කොරියාව සහ මාලදිවයින වැනි බොහෝ විදේශගත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් සිටින රටවල මෙම අවිධිමත් මුදල් හුවමාරු ක‍්‍රමයන්හි නියෝජිතයන් ඔවුන්ගේ වැඩබිම් වලදීම පේ‍්‍රෂණ මුදල් එකතු කර ගැනීමට ක‍්‍රියාත්මක වන බැවින් පේ‍්‍රෂණකරුට එය ඉතා පහසු වේ. මෙම නියෝජිතයින්ට සේවා පරිශ‍්‍රයන් තුලදීම සේවකයින්ගෙන් වැටුප් එකතු කිරීමේ යාන්ත‍්‍රණයන් ඇත. අවසානයේ මෙම මුදල් ඔවුන්ගේ පවුල් වෙත යැවීම මෙහි අරමුණයි. නිර්ණාමිකව ගනුදෙනු කිරීමේ ඇති හැකියාවද මෙම ක‍්‍රමවල දැකිය හැකි ලක්ෂණයකි. මෙය හවාලා හි වඩාත්ම ආකර්ෂණීය ලක්ෂණයයි. මෙලෙස ගනුදෙනු කිරීමේදී කඩදාසි හෝ ලේඛනගත සාක්ෂි අවශ්‍ය නොවේ. එබැවින් තම ගනුදෙනුවලදී රහස්‍ය භාවය රැකිය යුතු පුද්ගලයන්ට එය වක‍්‍ර ආරාධනාවකි.  තවද, මෙම නියෝජිතයන් කිසිදු නියාමන අධීක්ෂණයකට යටත් නොවන බැවින් අරමුදල් මූලාශ‍්‍රයේ නීත්‍යානුකූලභාවය
    සේවා සපයන්නන් විසින් ප‍්‍රශ්න නොකෙරේ. සාමාන්‍යයෙන්, රටක විනිමය පාලන සහ මුදල් හුවමාරු සීමා කිරීම් සහ පාලනයන් වැඩි වන තරමට, විධිමත් අංශයේ ගනුදෙනුකරුවන් ද මෙම අවිධිමත් සේවාවන් ලබා ගැනීමට නැඹුරු වන බැවින් හවාලා සහ උන්ඩියල් වැනි ක‍්‍රියාකාරකම් ද එමගින් ඉහළ යනු ඇත.

    හවාලා ක‍්‍රම හරහා සිදුකරන මුදල් විශුද්ධිකරණය සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම

    මුදල් විශුද්ධිකරණය සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම මගින් උපයන ලද නීති විරෝධී ඉපයීම් එක රටක සිට තවත් රටකට හුවමාරු කිරීම සඳහා මෙම අවිධිමත් මුදල් පේ‍්‍රෂණ ක‍්‍රම පහසු වේදිකාවක් සපයයි. මුදල් විශුද්ධිකරණය යනු සාපරාධී ක‍්‍රියාවලින් උපයගන්නා ලද නෛතික නොවන මුදල් නීත්‍යානුකූලව පිළිගත් මුදල් බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලියයි. මුදල් විශුද්ධිකරණය කිරීමේ ක‍්‍රියාවලිය මුලික වශයෙන් පියවර තුනකින් සමන්විත වේ. පළමු පියවර ලෙස නීති විරෝධී ක‍්‍රියාවලින් උපයන ලද මුදල් මූල්‍ය පද්ධතියේ එනම් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම හඳුනා ගත හැකිය. දෙවන පියවරේදී එලෙස තැන්පත් කරන ලද මුදල් තවදුරටත් කොටස් ලෙස වෙන් කිරීම සිදු කරනු ලබයි. මෙය නීතිවිරෝධී ලෙස උපයනු ලැබූ අදයම්වල මූලාශ‍්‍රය වසන් කිරීම සඳහා කරනු ලබන ගනුදෙනු මාලාවකි. අවසාන පියවර වන්නේ නීතිවිරෝධී ක‍්‍රියාවලින් උපයන ලද ආදායම විධිමත් ආර්ථික පද්ධතියට අවශෝෂණය කර ගැනීමයි. ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම යනු ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් සහ/හෝ සංවිධානවලට මුදල් සැපයීමේ වේ. ත‍්‍රස්තවාදයට මුදල් සැපයීමේ මූලාශ‍්‍රය නීත්‍යානුකූල හෝ නීති විරෝධී විය හැකිය. ත‍්‍රස්තවාදී කණ්ඩායම්වල න්‍යාය පත‍්‍ර ඉදිරියට ගෙන යාමට ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් සදහා අඛණ්ඩව මුදල් ගලා ඒම අත්‍යවශ්‍ය වේ. එබැවින් ත‍්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ අරමුදල් අවශ්‍යතා සඳහා මෙවැනි ක‍්‍රම අවභාවිතා කරයි.

    හවාලා ගනුදෙනු මුවාවෙන් මුදල් විශුද්ධිකරණය සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම කරනු ලබන ක‍්‍රම කිහිපයක් පවතී. මේවායෙහි පවතින අඩුපාඩු සහ ඍණාත්මක ප‍්‍රතිවිපාක හදුනා ගැනීම සහ පාලනය කිරීම සදහා නියමිත නියාමන රාමුවක් නොමැති වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණයට සහ ත‍්‍රස්තවාදී කටයුතුවලට මුදල් සැපයීම වැනි අවදානම් කටයුතු සඳහා මෙම ක‍්‍රම අවභාවිත වේ. මෙම නියෝජිතයින් විසින් ගනුදෙනු පිළිබඳ වාර්තා නිසි ලෙස තබා ගැනීමේ ක‍්‍රියා පටිපාටියක්
    අනුගමනය නොකිරීම මෙමගින් මුදල් විශුද්ධීකරණයට සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීමට උදව් වන තවත් සාධකයක් වේ. බැංකු ක්ෂේත‍්‍රය හා සසඳන විට, මෙම ගනුදෙනු වල දී අරමුදල් මූලාශ‍්‍රය සහ භාවිතය පිළිබඳව අවධානය යොමු නොවීම ද මුදල් විශුද්ධිකරණය කරන්නන් සහ ත‍්‍රස්තවාදයට මුදල් සපයන්නන් දිරිමත් කිරීමට හේතු වේ. තවද නීතිමය කටයුතු ආරම්භ කිරීමට ඇති අපහසුව මෙහි තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වේ.

    අවිධිමත් මුදල් හුවමාරු ක‍්‍රම භාවිතා කිරීමේ අවදානම

    මුදල් හුවමාරු කිරීම සඳහා විධිමත් ක‍්‍රම වෙනුවට හවාලා වැනි අවිධිමත් ක‍්‍රම යොදාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස බොහොමයක් අවිහිංසක පුද්ගලයන් නීති බලාත්මක කරනු ලබන ආයතනවල විමර්ශනයන්ට අනවශ්‍ය පරිදි ලක් වීමේ අවධානමක් දැක ගත හැකිය. හවාලා මඟින් සිදුකරන ගනුදෙනු වලදී විධිමත් ගනුදෙනු වලදී භාවිතා කරන ගනුදෙනු උපකරණ (negotiable instruments) හෝ පේ‍්‍රෂණ මාධ්‍යයන් (wire transfers) කිසිවක් භාවිතා කිරීම කිසිඳු ආකාරයකින් සිදු නොවේ. ඒ වෙනුවට, හවාලා වෙළෙන්දන්/තැරැව්කරුවන් අතර සිදුවන සන්නිවේදනය මත පමණක් පදනම්ව මුදල් මාරු කිරීම් සිදු වේ. එබැවින්, ගනුදෙනුව සිදුකළ බවට ඔප්පු කිරීමට හැකියාවක් නොලැබෙන අතර, දුක් මහන්සියෙන් උපයාගත් මුදල් මෙම ක‍්‍රම හරහා වෙනත් රටකට යැවීමට කටයුතු කිරීමෙන් එම මුදල් අහිමි වීමට වුවද වැඩි ඉඩක් ඇත. ඇතැම් විට, ගනුදෙනු තුලනය කිරීමේ අරමුණින් හවාලා තැරැව්කරුවන් වංචා, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි අපරාධමය ක‍්‍රියා සමග සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධ වී සිටී. එබැවින්, නීති බලාත්මක කරන ආයතන විසින් හවාලා තැරැව්කරුවන් විමර්ශනයට ලක් කිරීමේ වැඩි ඉඩකඩක් පවතී. එවන් අවස්ථාවකදී, අවිහිංසකව හෝ නොදන්නාකමින් හවාලා ක‍්‍රම භාවිතා කරනු ලබන පුද්ගලයින්ද නීති ක‍්‍රියාත්මක කරනු ලබන ආයතනවල නිලධාරීන්ගේ ප‍්‍රශ්නකිරීම්වලට ලක් වනු ඇත.

    හවාලා ගනුදෙනු ක‍්‍රම මඟින් රටකට, මුල්‍ය වෙලඳපොලට සහ ආර්ථිකයට ඇති කරන බලපෑම

    දේශසීමා අතර ක‍්‍රියාත්මක වන අවිධිමත් ගනුදෙනු හුවමාරු ක‍්‍රමහේතුවෙන් රටක මූල්‍ය වෙළඳපොළ, ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව මත අහිතකර බලපෑම් ඇති විය හැකිය. සැලකිය යුතු තරමේ අවිධිමත් මුදල් හුවමාරු ක‍්‍රමයන් පැවතීම හේතුවෙන් රටක අහිතකර බලපෑම් ඇති විය හැකි ප‍්‍රධාන ක්ෂේත‍්‍ර කිහිපයක් පහත දැක්වේ.

    බදු ආදායම අඩු වීම

    අවිධිමත් ක‍්‍රම හරහා මුදල් පේ‍්‍රෂණය කිරීමට හවාලා මාධ්‍යන් තුළින් පුද්ගලයන් හා ආයතනවලට ඉඩකඩ ලබාදීම හේතුවෙන් බදු පැහැර හැරීමට මං සළසනු ලබයි. එවන් ගනුදෙනු හේතුවෙන් රජයට ආදායම් බදු හරහා ලැබෙන සෘජු බදු ආදායම් මෙන්ම වක‍්‍ර බදු ආදායම් ද අහිමි වේ. හවාලා ක‍්‍රම හරහා සිදුකරන ගනුදෙනු ලේඛනගත නොවීම නිසාත්, එම තොරතුරු දේශීය බදු අධිකාරීන්ට නොලැබීම නිසාත්, හවාලා ගනුදෙනු සිදු කරනු ලබන පුද්ගලයන්ගේ අදායම මෙන්ම හවාලා තැරැව්කරුවන්ගේ ආදායම ද රටක බදු ආදායම යටතට නොගැනේ. තවද, ලියාපදිංචි ගාස්තු සහ අනෙකුත් සේවා බදු වැනි, විධිමත් මාධ්‍යන් හරහා සිදු කරනු ලබන ගනුදෙනුවලට අදාළ වක‍්‍ර බදු අහිමි වීම තුළින් රාජ්‍ය ආදායම කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කරනු ලබයි. තවද, රටක ආනයනකරුවන් සහ අපනයනකරුවන් විසින් භාණ්ඩ මත වන බදු පැහැර හැරීමේ අරමුණින් ද හවාලා ගනුදෙනු යොදාගනු ලබයි. නිදසුනක් වශයෙන්, ගණුදෙනු ලේඛනවල මිල ගණන් අඩුවෙන් සදහන් කරන ලෙස ආනයනකරුවෙකු විසින් විදේශ අපනයනකරුවෙකුගෙන් ඉල්ලා සිටීම මගින් ආනයනකරු විසින් රජයට ගෙවිය යුතු බදු මුදල අඩුකරගත හැක. එවිට සැබෑ පිරිවැය සහ ලේඛන වල සටහන් කළ පිරිවැය අතර වෙනස හවාලා
    මාධ්‍යන් හරහා පියවා ගත හැකි අතර, එය බදු බලධාරීන්ගේ අවධානයට ලක් නොවනු ඇත.

    රටක ගෙවුම් ශේෂය හා විදේශ සංචිත කෙරෙහි ඇති කරන බලපෑම

    ශ‍්‍රී ලංකාව වැනි නැගී එන ආර්ථිකයන්හි ගෙවුම් තුලන (BOP) සහ විදේශ සංචිතවල ඉතා වැදගත් අංගයක් ලෙස ශ‍්‍රමිකයන්ගේ පේ‍්‍රෂණ හදුනා ගත හැකිය. ශ‍්‍රමිකයින් විසින් හවාලා වැනි අවිධිමත් ක‍්‍රම හරහා සිය ඉපයීම් පේ‍්‍රෂණය කරන විට, ගෙවුම් තුලනය ගණනය කිරිමේදී එම ඉපැයීම් සැලකිල්ලට නොගැනේ. ගෙවුම් තුලනය වාර්තා කරනු ලබන තවත් සංරචක කිහිපයකටම (උදා: භාණ්ඩ වෙළෙඳාම) මෙය අදාළ වේ. ඒ අනුව, රටක විදේශ  අංශයේ සැබෑ තත්ත්වය ගෙවුම් තුලන දත්ත තුළින් නිරූපණය නොවනු ඇත.

    තවද, රටක විදේශ සංචිත ගොඩනැගෙනුයේ විධිමත් මාර්ග හරහා එවනු ලබන පේ‍්‍රෂණයන් හරහා බැවින් රටක විදේශ සංචිත ඉහළ නැංවීමෙහි ලා හවාලා හරහා කරනු ලබන  පේ‍්‍රෂණයන් උපකාරී නොවනු ඇත. ඇත්ත වශයෙන්ම, විධිමත් හා අවිධිමත් මාධ්‍ය අතර මාරු වීම හේතුවෙන් එම සංචිත පහත යා හැකිය.

    මුදල් සැපයුම මත ඇති කරන බලපෑම

    භෞතික මුදල් සංචලනයක් සිදු නොවන බැවින් හවාලා ගනුදෙනු හේතුවෙන් ආර්ථිකයක පුළුල් මුදල් සැපයුම මත ඇතිකරන සෘජු බලපෑම ශුන්‍ය වේ. කෙසේ වෙතත්, මුදල් ලැබෙන රටේ පුළුල් මුදල් සැපයුමේ සංයුතිය හවාලා ගනුදෙනු හේතුවෙන් බලපෑමට ලක් විය හැකිය. ඊට හේතු වන්නේ හවාලා ගනුදෙනු භෞතික මුදල් භාවිතය කෙරෙහි නැඹුරු වීම නිසා බැංකු තැන්පතුවල (ඉතුරුම් හා කාලීන) අඩු වීමක් සිදු වන බැවිනි. හවාලා මාධ්‍යන් විසින් බැංකු ක්ෂේත‍්‍රය කෙරෙහි ඇති කරන ඍණාත්මක බලපෑම සහ මුදලට ඇති ඉල්ලූමේ අස්ථාවරත්වයක් ඇති කිරීමට සමත් වන ආකාරයේ මුදල් ආර්ථිකයක් නිර්මාණය වීම හරහා මූල්‍ය අතරමැදිකරණය සීමා විය හැකි අතර මුදල් ප‍්‍රතිපත්තියේ අකාර්යක්ෂමතාවයන් ඇති කරනු ඇති  බව විද්වත් මතයයි.

    මූල්‍ය අතරමැදිකරණය මත ඇති කරන බලපෑම

    බැංකු පද්ධතියෙන් මුදල් කාන්දු වීම හේතුවෙන් බැංකු පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව සීමා විය හැකිය. එසේම, බැංකු විසින් ඉහළ පොලී අනුපාතයක් ප‍්‍රදානය  කිරීම හරහා තැන්පතු ආකර්ෂණය කරගැනීමට උත්සාහ  කරනවිට වෙළඳපොළ පොලී අනුපාත ඉහළ යාමේ  හැකියාවක්ද ඇතිවිය හැකි බව මේ පිළිබඳව සිදු කර ඇති අධ්‍යනයන්හි සඳහන් කර ඇත. තවද, විකල්ප හා අවිධිමත් මුදල් පේ‍්‍රෂණ ක‍්‍රම හේතුවෙන් මූල්‍ය අතරමැදිකරණයේ සුවිශේෂී කාර්යන් ද තර්ජනයට ලක් විය හැකිය. හවාලා ජාලයන්හි වැඩිවීම හේතුවෙන් බැංකුවලට හිමි ඔවුන්ගේ වෙළඳපොළ කොටස අහිමි වීමේ හැකියාවක්ද පවතී.

    ජාතික ආරක්ෂාව මත ඇති කරන බලපෑම

    ලෝකයේ සිදුව ඇති මහා පරිමාණ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර කිහිපයක්ම අර්ධ වශයෙන් මූල්‍යනය වී ඇත්තේ හවාලා වැනි ක‍්‍රම හරහා බැවින් එවැනි අවිධිමත් ක‍්‍රම පැවතීම ජාතික ආරක්ෂාව සම්බන්ධ ආයතනවලට අභියෝගයක් වේ. හවාලා යනු නීතිවිරෝධී කටයුතු සඳහා ඇති වෙළෙඳපොළවල් වල මුදල් ගනුදෙනු සිදුවන ක‍්‍රමයක් ලෙස හඳුනා ගත හැකි අතර, ත‍්‍රස්තවාදයට මුදල්
    සැපයීමේ යම් යම් මූලාශ‍්‍රයන් සඳහා අවිධිමත් මාධ්‍යන් යොදා ගන්නා බැවින් එය ත‍්‍රස්තවාදී මූල්‍යනයට එරෙහි සටනේ ඵලදායිත්වයටද තර්ජනයක් ලෙස සැළකේ. ඒ අනුව මෙවන් ක‍්‍රම ව්‍යාප්ත වීම නැවැත්වීමටත් ත‍්‍රස්තවාදීන් විසින් හවාලා මාධ්‍යන් යොදා ගැනීම නැවැත්වීමටත් සෑම උත්සාහයක්ම ගත යුතුව ඇත.

    ශ‍්‍රී ලංකාව සහ හවාලා අවිධිමත් මුදල් හුවමාරු ක‍්‍රම වල වර්ධනය

    වසංගතය අතරතුර ශ‍්‍රමකියින් විදේශ රටවලට පිටත්වීම අඩුවීමත් ශ‍්‍රී ලංකාවේ විධිමත් වෙළෙඳපොළ හා අවිධිමත් වෙළෙඳපොළ අතර විශාල විනිමය අනුපාත වෙනස්කම් පැවතීම හේතුවෙන් මුදල් පේ‍්‍රෂණය සඳහා හවාලා ක‍්‍රම බහුලවම යොදා ගැනීම නිසාත් වසර 2021 දී විගාමික ශ‍්‍රමිකයන් විසින් ශ‍්‍රී ලංකාව වෙත කරනු ලබන පේ‍්‍රෂණහි කැපී පෙනෙන අඩු වීමක් නිරීක්ෂණය වී ඇත.

    හවාලා නියෝජිතයින් විසින් ප‍්‍රදානය කරනු ලැබූ ආකර්ෂණිය ඉහල විදේශ විනිමය විනිමය අනුපාතික හේතුවෙන් විගාමික සේවකයින් මුදල් එවීම සඳහා විධිමත් බැංකු පද්ධතියෙන් දුරස් වී හවාලා ක‍්‍රම වෙත නැඹුරුතාවයක් දැකගත හැකිවිය. 2021 දී සේවක පේ‍්‍රෂණවල දැඩි පහත වැටීම ශ‍්‍රී ලංකාවේ ගෙවුම් තුලන තත්ත්වයට අහිතකර ලෙස බලපෑම් ඇති කරන ලදී. එසේම, බැංකු පද්ධතිය තුළ පැවති විදේශ මුදල් සැපයුමේ හිඟය හේතුවෙන්, ශ‍්‍රී ලංකාවේ ආනයනකරුවන්ද තම ආනයන බිල්පත් ගෙවීමට හවාලා ක‍්‍රම භාවිතා කරන ලද බව වාර්තා වේ.

    සමස්තයක් වශයෙන් ගත් කළ, මෑත කාලයේ හවාලා ක‍්‍රමවල ජනප‍්‍රියතාවය නිසා, විධිමත් මාර්ග හරහා රටට තීරණාත්මක විදේශ මුදල් ප‍්‍රවාහයන් ලැබීම අහිමි වී ඇති අතර, ඒ හරහා විදේශ විනිමය සැපයුම අඩාල වීම සහ විදේශ මුදල් සංචිත අඩු වීම ආදිය හේතුවෙන් ගෙවුම් තුලනය සදහා ද බලපෑම් ඇති වී ඇත. මේ අනුව හවාලා ක‍්‍රම ව්‍යාප්ත වීම ශ‍්‍රී ලංකාවේ ගෙවුම් තුලන තත්ත්වයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරයි. කෙසේ වෙතත්, වෙළෙදපොළ ඉල්ලූම හා සැපයුම මත පදනම්ව තරගකාරී විනිමය අනුපාතයක් ලබා දීමට විධිමත් මුදල් හුවමාරු ක‍්‍රමවලට හැකියාව පවතින්නේනම්, විනිමය අනුපාත අතර
    වෙනස්කම් බොහෝ දුරට අවම කරගත හැකි බැවින් ඒ හරහා අවිධිමත් මුදල් හුවමාරු ක‍්‍රම සඳහා ඇතිවන ඉල්ලූම
    අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත.

    හවාලා ක‍්‍රම වලට එරෙහිව ගත් මෑතකාලීන ක‍්‍රියාමාර්ග

    පෙර සඳහන් කළ පරිදි, ආර්ථිකයට එල්ල වූ දැඩි තර්ජනයන් හේතුවෙන් රට තුළ හවාලා ක‍්‍රම ව්‍යාප්ත වීම පාලනය කිරීමේ ප‍්‍රයන්තයන් 2021 වසර තුළදී ක‍්‍රියාත්මක කරන ලදී. හවාලා ගණුදෙනුවල ඇති අවදානම පිළිබඳව මහජනතාවගේ දැනුම්වත්භාවය වැඩි කිරීම සඳහා පුවත්පත්වල ලිපි හා දැන්වීම් පළ කිරීම ද ඇතුළුව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්
    ක‍්‍රියාත්මක කරන ලදී. තවද, නීතිරෝධී කටයුතුවලට සම්බන්ධ අරමුදල් මෙම ගිණුම් හරහා ගනුදෙනු වී ඇත්ද යන වග විමර්ශන මගින් තහවුරු වන තුරු එවැනි ගණුදෙනු වල යෙදුනු ගිණුම්වල මුදල් ගණුදෙනු සඳහා යොදා ගැනීමේ හැකියාව අත්හිටුවන ලදී. තවද, බැංකු හා අනෙකුත් මූල්‍යායතන වැනි විධිමත් මාර්ග හරහා විදේශ ශ‍්‍රමිකයන් තම ඉපයීම් පේ‍්‍රෂණය කිරීමට දිරි ගැන්වීම සඳහා අමතර මුදලක් පිරිනැමීම වැනි මූල්‍ය දිරිගැන්වීම් ද හඳුන්වාදෙන ලදී. තවද, විධිමත් පේ‍්‍රෂණ ක‍්‍රම ප‍්‍රවර්ධනය කිරීම සහ අවිධිමත් ක‍්‍රම භාවිතය අධෛර්යමත් කිරීමේ අරමුණින් විදෙස්ගත ශ‍්‍රමිකයින් සඳහා විශ‍්‍රාම ප‍්‍රතිලාභ සහ විදේශ පේ‍්‍රෂණ සඳහා ණය පහසුකම් වැනි වෙනත් දිරි ගැන්වීම් යෝජනා කරන ලදී.

    ඉදිරි දැක්ම

    හවාලා ක‍්‍රම පැවතීම ගෝලීය ආර්ථිකයට විශාල අවදානමක් ඇති කරන අතර මෙම ක‍්‍රම විශාල වශයෙන් ව්‍යාප්ත වීමේ තර්ජනය හේතුවෙන් විවිධ රටවල් විසින් විවිධ උපක‍්‍රම භාවිතා කරමින් මෙවැනි ක‍්‍රම මගින් ඇති විය හැකි අහිතකර බලපෑම් අවම කිරීමට කටයුතු කර ඇත. ඉන්දියානු සංචිත බැංකුවේ කොන්දේසි සහිත අනුමැතියකින් තොරව ඉන්දියාවෙන් පිටත ඕනෑම පුද්ගලයෙකුට ගෙවීමක් කිරීම තහනම් කිරීම මගින් ඉන්දියාව තුළ හවාලා ගණුදෙනු සඳහා සීමා පනවා ඇත. මීට අමතරව, විධිමත් මූල්‍ය අංශයට ප‍්‍රවේශ වීම සඳහා ග‍්‍රාමිය ප‍්‍රදේශවල වාණිජ බැංකු ශාඛා පිහිටුවීම වැනි කි‍්‍රයා මාර්ග ද විධිමත් මූල්‍ය සේවාවන් හි ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ඉන්දීය සංචිත බැංකුව විසින් ක‍්‍රියා මාර්ග ද ගෙන ඇති අතර හවාලා ක‍්‍රමවල බලපෑම පාලනයට මුදල් හුවමාරු සේවා ක‍්‍රම වෙත ප‍්‍රවේශ වීමට බැංකු නොවන මූල්‍ය අංශයට අවසර ලබා දී ඇත.

    ඉන් අනතුරුව ඉන්දීය රජය විසින් 1970 දශකයේදී මූල්‍ය විනිමය කළමණාකරන පනත (Financial Exchange Management Act) බලාත්මක කරන ලදී. එසේම, මුදල් හුවමාරු කරන ආයතන විදේශීය විනිමය හුවමාරු සමාගම් බවට පරිවර්තනය කිරීම සඳහා පකිස්තානය ද පියවර ගෙන ඇති අතර එහිදී ඔවුන්ට ලියාපදිංචි වීමට සහ අදාළ නියාමනයන්ට අනුකූල වීමට වසර දෙකක කාලයක් ලබා දෙන ලදී. මූල්‍ය කාර්ය සාධක බලකාය 2013 වසරේදී මුදල් විශුද්ධිකරණය හා ත‍්‍රස්තවාදයට මුදල් සැපයීමෙහි හවාලා සහ අනෙකුත් සමාන සේවා සපයන්නන්ගේ භූමිකාව යන මැයෙන් කරන ලද ප‍්‍රකාශනය මගින්, නියාමනය නොකළ හවාලා සහ අනෙකුත් සමාන සේවා සපයන්නන් හඳුනා ගැනීමේ උපායමාර්ග සහ ඔවුන්ගේ ව්‍යාපාර විධිමත් කිරීමට දිරි ගැන්වීම් ඇති කළ හැකි මාර්ග පැහැදිලිව විස්තර කර ඇත. මේ වන විට ශ‍්‍රී ලංකාවේ හවාලා ක‍්‍රම නිරීක්ෂණය කිරීම සහ නීත්‍යානුකූල රාමුවකට ගෙන ඒම සඳහා සුදුසු නීතිමය අවශතා ඇති කොට ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට බලධාරීන් සැලසුම් කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවෙහි මෙම තොරතුරු සඳහන් වේ.