ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ග්‍රීසියේ තත්ත්වයට සමාන ද?

    May, 27, 2022

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇතිව ඇති ආර්ථික අර්බුද තත්ත්වය, ග්‍රීසීය තුළ ඇති වූ අර්ථික අර්බුදයට සමාන ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා අද (27) " අද දෙරණ BIC FOCUS " වැඩ සටහනට එක් වෙමින් සිදුකළේය.

    එහි දී ඔහු පවසා සිටියේ මෙරට සහ ග්‍රීසිය අතර මෙම අර්බුදයන් උද්ගත වන අවස්ථාවන්හි පැවති තත්ත්වයන් බොහේ සෙයින් වෙනස් බවය. කෙසේ වෙතත් මේ වන තෙක් ග්‍රීසිය මෙම අර්බුදයෙන් පූර්ණ වශයෙන් එළියට පැමිණ නැති බවත් ඔහු පවසා සිටියේ ය.

    තව ද, මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට රටක් පත් වූ විට යලි රට යතා තත්ත්වයට පත් වීම සඳහා අවුරුදු 10ක් වැනි කාලයක් ගත වන බව ද, ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ය.

    ප්‍රශ්නය -
    රටක් බංකොලොත් වීම ගැන අපට තියන හොඳ උදාහරණයක් තමයි ග්‍රීසිය. දැන් ග්‍රීසිය ගැන කතා කරද්දි අපිට පුංචි අවබෝධයක් ලබා ගන්න පැහැදිලි කරන්න පුළුවන් ද ඔබ තුමාට. කොපමණ කාලයක් ගත වුනාද ග්‍රීසීයට ඒ අර්බුදයෙන් ගොඩ එන්න? මේ වන විට හෝ ඒ සම්පූර්ණ අර්බුදයෙන් ග්‍රීසීය ගොඩ ඇවිල්ලා තියනව ද? ඊට පස්සේ ඔවුන්ගේ ණය හිමියන්ට ණය ගෙවන්න ඔවුන්ට හැකියාව ලැබුනද?"

    පිළිතුර -
    ග්‍රීසිය මෙම අර්බුදයට පත්වුණ අවස්ථාවේ දී, අපි කියන්නේ context එක ග්‍රීසියේ, ලංකාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද ඔවුන් පාවිච්චි කළේ යුරෝපා සංගමයේ මුදල් ඒකක. ඒ වගේම ජර්මනිය ඇතුළු බොහේ රටවල් ඔවුන්ව ආරක්ෂා කරන්න බැඳිලා හිටියා. ඒ වගේම ඔවුන් ඒ අර්බුදයට යද්දි ලෝකයේ 18 වෙනියට ධනවත්ම රට විදිහට ඉදිද්දි තමයි ඔවුන්, මගේ මතකය නිවැරදි් නම් මේ අර්බුදයට ගියේ. ඔවුන්ට තාමත් හම්බවුනේ නැහැ මේ අර්බුදයෙන් පූර්ණ වශයෙන් එළියට එන්න. අවුරුදු ගණනාවක් ගියා.

    අපි ඇත්තටම ග්‍රීසියේ ඉන්න කිහිප දෙනෙක් එක්ක මේ ගැන තොරතුරු දැනගන්න සාකච්ඡා කළාම, ඉතාමත්ම අමාරු වෙලා, දුප්පත්කම වැඩි වෙලා, රට ධනවත් වුණත් දුප්පත්කම වැඩි වෙලා ඉතාම අමාරු ආර්ථික තත්ත්වයක් යටතේ තමයි ආවේ. ඒක තමයි මේ ණය ප්‍රශ්න ආවට පස්සේ වෙන දේ. ඒකම ග්‍රීසියේ වගේම ලෙබනනය, ආර්ජන්ටිනාව වගේ රට වලටත් ඒ වගේම වුණා. හැබැයි ඒ වගේම සමහර රටවල් උඩට ආපු අවස්ථාත් තියනවා, හැබැයි නිසි ප්‍රතිපත්ති අනුව. හැබැයි ග්‍රීසීයේ විශාල ප්‍රශ්න ගොඩක් වුණා. එයාලගේ "bank run" එකක් දක්වා පත්වුණා සමහර අවස්ථා වල. ඉතින් ඉතාමත්ම අමාරු වුණා. තාමත් හෙමින් තමයි යන්නේ. ඒකයි මම කිව්වේ කලිනුත් අවුරුදු 10ක් වගේ යනවා. මේක සමස්ථයෙන් Recover වෙන්න. ග්‍රීසීයෙත් තියෙන්නේ ඒ තත්ත්වයම තමයි දැනට. හිමින් යන්නේ."