අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා අවශ්‍ය වන විදේශ විනිමය බැංකු පද්ධතිය තුළින් සපයා ගැනීම සඳහා මහ බැංකුව සිය කැපවීම නැවත තහවුරු කරයි

    May, 31, 2022

    ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේ දී, විවෘත ගිණුම් ක්‍රම (Open Account Payment Terms) හෝ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම යටතේ ගෙවීම් (Consignment Account Terms) ක්‍රම භාවිතය කොන්දේසි සහිතව සීමා කරමින්, මුදල් අමාත්‍යාංශය විසින් 2022 වසරේ මැයි මස 06 දින, 2022 අංක 07 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි, 2022 වසරේ මැයි මස 20 දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලදී.

    මෙම ක්‍රියාමාර්ගය, දේශීය බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් විවිධ ක්‍රියාමාර්ග සමඟ සම්බන්ධ වේ.

    ඉහත සඳහන් කළ ගෙවීමේ ක්‍රම මත සීමා පැනවීම හේතුවෙන් රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇති වන බවට වෙළඳ ප්‍රජාව හා සම්බන්ධ විවිධ පාර්ශව අදහස් මතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක්ව ඇත.

    මෙම පසුබිම යටතේ, ඉදිරි කාලය තුළ දී ආහාර ද්‍රව‍්‍ය ද ඇතුළු අත‍්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය පවත්වා ගැනීම සඳහා මහ බැංකුව සිය කැපවීම නැවත තහවුරු කරයි. තවද, ගෙවීමේ ක්‍රම මත පනවා  ඇති  සීමා නිසා, ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන බව සහ අපනයන භාණ්ඩ නිෂ්පාදකයින්ට බාධා ඇතිවීමක් නොවන බව තහවුරු කිරීම සඳහා ගනිමින් පවත්නා ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් කරුණු කෙරෙහි අවධාරණය යොමු කරයි.

    අ) මහ බැංකුව බැංකු ප්‍රජාව සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පහසුකම් සැලසීම සහතික කිරීම සඳහා අඛණ්ඩ සංවාදයක නිරත වේ. ගෙවීම් ක්‍රම මත සීමා පැනවීම සහ විනිමය අනුපාත නිර්ණය කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීමෙන් පසුව අවිධිමත් වෙළඳපොළ ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස, බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ගලා ඒම සිදු වී බැංකු පදිධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව ඉහළ යෑමක් දක්නට ලැබේ. මෙම ප්‍රවණතාවය ඉදිරි කාලය තුළ දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් 2022 වසරේ මාර්තු මාසයේ සිට සිදු වූ විදේශ විනිමය අනුපාතිකයේ ශීඝ්‍ර අවප්‍රමාණය වීම නිවැරදි කිරීම වේගවත් වනු ඇත. දේශීය විදේශ විනිමය වෙළඳපොළ එසේ යහපත්භාවයට පත්වීම  සහ එමඟින් ද්‍රවශීලතා තත්ත්වය ඉහළ යෑම, අත‍්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනිමය යොමු කිරීමට සහාය වේ.

    ආ) ශ්‍රී ලංකා මහ බැංකුව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන වෙළඳ සංගමය සහ අනෙකුත් පර්ශව සමඟ මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ අනුව, වෙළඳ අමාත‍ාංශය, පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුවේ සහභාගිත්වයෙන් දැනට වෙළඳපොළෙහි ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය සහ ඉදිරි කාලයේදී ඒවායේ මාසික අවශ්‍යතාව හඳුනා ගැනීම පිළිබඳව මූලික තක්සේරුවක් සිදු කෙරේ. එවැනි තොරතුරු මත පදනම්ව, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පවතින ණය පහසුකම භාවිත කිරීමට ඉන්දීය රජය එකඟ වී ඇති දැනට පවතින වැඩපිළිවෙළෙත් ඇතුලත්ව, අත්‍යවශ්‍ය භාණ්ඩ අවශ‍්‍ය ප්‍රමාණමයන් සහ අවශ‍්‍ය කාල පරාසයන් තුළ ආනයනය කිරීම සහතික කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

    ඇ) අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය සමඟ මෑත දී සිදුකල සාකච්ඡාවල දී ඔවුන් අවිධිමත් වෙළඳපොළ ක්‍රියාකාරකම්වල නොයෙදෙන බවත් මෙම ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක කාල සීමාව තුළ සිය උපරිම සහයෝගය ලබා දෙන බවට මහ බැංකුවට සහතික වන ලදී. ඒ අනුව, ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් බව සහතික කිරීම සඳහා වන සාමූහික ප්‍රයත්නයන්, ඉන්දියානු ණය පහසුකම යටතේ සිදු කෙරෙන වැඩසටහන්ද ඇතුළුව, ක්‍රියාත්මක වනු ඇත.

    ඈ)  ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ වෙළඳ අමාත්‍යාංශය, අනෙකුත් ආයතන සමඟ එක්ව රේගුව තුළ පවතින ආනයනය කරන ලද භාණ්ඩ මුදා හැරීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, එමඟින් වෙළඳුන්ට වන පිරිවැය අවම කර ගැනීමට හැකි වන අතරම ප්‍රමුඛතාවක් ලෙස භාණ්ඩ තොග වෙළඳපොළට නිකුත් කිරීම ද සිදුකළ හැක.

    ඉ)   අපනයනකරුවන්ට ඔවුන්ගේ අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී සහ ඔවුන්ගේ අපනයන ආදායම විවෘත ගිණුමේ ගෙවීම්/ භාණ්ඩ ගිණුම් කොන්දේසි යටතේ ගෙවීම් සිදුකිරීම සඳහා පහසුකම් සැලසීමට දැනටමත් ක්‍රියාමාර්ග ගනිමින් පවතී. තව ද, මෙම අපනයනකරුවන්ට සැපයුම් සපයන විදේශ මුදලින් ගෙවීම් ලබන දේශීය සැපයුම්කරුවන්ටද විවෘත ගිණුම් ගෙවීම්/භාණ්ඩ ගිණුම් කොන්දේසී යටතේ ගෙවීම් කිරීමට අවසර ලබා දී ඇත.

    මෙම අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වගකීමෙන් ක්‍රියා කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ ප්‍රජාවගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින තත්ත්වය යටතේ, වෙළඳ ප්‍රජා මට්ටමින් ආහාර ද්‍රව්‍ය ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයට වඩා ආනයනය කිරීම සහ තොග ගොඩගැසීම මෙන්ම පාරිභෝගික මට්ටමින් ඒවා අවශ්‍ය ප්‍රමාණයට වඩා මිල දී තබා ගැනීම ද නුසුදුසුය. අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා පවතින සීමිත විදේශ විනිමය ප්‍රමාණය යොදා ගැනීම සම්බන්ධයෙන් රට මුහුණ දී ඇති බාධාවන් සැලකිල්ලට ගනිමින්, අඩු විදේශ විනිමය ද්‍රවශීලතාව මනාව කළමනාකරණය කිරීම ආර්ථිකයේ සියලුම පාර්ශවකරුවන්ගේ යුතුකම වේ. රට නැවත ශක්තිමත් ස්ථාවරයකට පැමිණි පසු සහ විදේශීය අංශයේ පීඩනයට ඔරෝත්තු දීමට හැකි වූ පසු, ඉදිරි කාලය තුළ දී වෙළඳ ප්‍රජාවට සහ සාමාන්‍ය ජනතාවට සමාන ලෙස ප්‍රතිලාභ  හිමි වනු ඇත.