June, 6, 2022
වාසනා ට්රේඩින් ලංකා විසින් මෙරට දී එකලස් කර වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන SAW LANKA KEYTON M 70 සුඛෝපභෝගී ද්විත්ව කාර්යය වෑන් රථය එළඹෙන ජූනි 10 වෙනි දින ශ්‍රී ලංකා වෙළෙඳපොළට එක්කරනු ලබන බව වාසනා ට්රේඩින් ලංකා (පුද්) සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පවසයි.
අද දෙරණ Business කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ 1250CC එංජින් ධාරිතාවයකින් යුතු මෙම වෑන් රථය 6 දෙනෙකුට සුවපහසුව ගමන් කළ හැකි වන අයුරින් නිෂ්පාදනය කර ඇති බවයි.
කඳානේ පිහිටි සිය කර්මාන්ත ශාලාවෙන් එළිදකින මෙම වාහනය රු. ලක්ෂ 68 ක් වැනි මිලකට හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව මෙරංචිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
“මෙම වාහන වර්ගය මුල් වරට ශ්‍රී ලංකාව තුළ එකලස් කරන්නේ අපි. මෙය 6 දෙනෙකුට ඉතා සුවපහසුවෙන් ගමන් කළ හැකි වාහනයක්. මෝටර් කාර් රථයක අඩංගු සියලු අංගෝපාංග මෙහි තිබෙනවා. 10 වෙනිදා මෙම රථය එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙය සමන්විත වන්නේ සුසුකි බලයලත් එංජිමකින්. ඉදිරියේ දී හොන්ඩා බලයලත් එංජිමක් සහිත ජීප් රියක් හඳුන්වා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. රු. ලක්ෂ 68 ක මිලකට මෙය වෙළෙඳපොළට මෙය හඳුන්වාද දීමට සැලසුම් කරනවා.“
අද දෙරණ Business වෙත වැඩිදුරටත් ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා කියා සිටියේ, මෙම වාහනය එකලස් කිරීමේ දී එක් කර ඇති දේශීය අගය එකතුකිරීම් ප්‍රමාණය 40%කට වඩා වැඩි බවයි.
“මේ සඳහා ශ්‍රී ලංකාව තුළ අගය එකතුකිරීම් ප්‍රමාණය 40% ක් ඉක්මවලා තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයක් බැවින් දැනට රට තුළ පවත්නා ආනයන සීමා කිරීමේ නීතිරීතීන් මේ සඳහා බලපාන්නේ නැහැ. මේ වගේ අර්බුදකාරී අවස්ථාවක දේශීය නිෂ්පාදන හඳුන්වා දෙමින් රටේ ආර්ථිකයට අපි උරදිය යුතුයි. ඉදිරියේ දී මේ සඳහා අන්තර්ගත වන දේශීය එකතුකිරීම් ප්‍රමාණය ඉහළ දමා ගැනීම තුළින්, ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරලා අපනයනය කරන්න පුළුවන් මට්ටමට යාම තමයි අරමුණ“, යනුවෙන් ඔහු පැවසීය.


SAW LANKA KEYTON M 70 වෑන් රථය පිළිබඳ කෙටි සාරාංශයක් පහතින් දැක්වේ.
Video Story