• Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • USAID
  • VEGA
  • VEGA Innovations

ශ්‍රී ලංකාවේ හරිත බලශක්තිය හා විදුලි වාහන ප්‍රවර්ධනයට එක්සත් ජනපදය සහ VEGA අත්වැල් බැඳගනී

June, 16, 2022

එක්සත් ජනපදය තවදුරටත් ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්තිය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය සඳහා කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය, ශ්‍රී ලංකාවේ විදුලියෙන් ධාවනය වන වාහන අංශය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා උපකාර කිරීමට VEGA Innovations ආයතනය වෙත තාක්ෂණික සහය ලබාදෙන්නා වූ ගිවිසුමක් අත්සන් කිරීමේ උත්සවයකට ජූනි 15 වැනි දින සහභාගි වූවාය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) මෙම ගිවිසුම සඳහා අරමුදල් සපයන අතර, ඒ හරහා, විදුලි “ත්‍රීරෝද රථ” ඇතුළුව විදුලියෙන් ධාවනය වන වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා VEGA Innovations විසින් දරන වෑයම්වලට සහය ලබාදෙනු ඇත. විදුලි වාහන සඳහා ආරෝපණ ස්ථාන ජාලයක් (charging network) ඇති කිරීමේ නියමු වැඩසටහනකට මෙන්ම, බැටරි සහ ඉන්වර්ටර්  දේශීයව සැලසුම්කර නිෂ්පාදනයට ද ඉන් සහය ලබාදෙනු ඇත. මෙරට බලශක්ති අංශය වෙළඳපල-පදනම් කරගත්, සුරක්ෂිත, විශ්වසනීය සහ තිරසාර අංශයක් බවට පත්වීමට සහය ලබාදීම සඳහා 2021 දී USAID Sri Lanka හි බලශක්ති වැඩසටහන දියත් කරනු ලැබුවේ ය.

“නව අදහස් අත්හදා බැලීමට, උපායමාර්ගික අවදානම් ගැනීමට, සාර්ථක වන්නේ කුමක්ද යන්න පිළිබඳ සාක්ෂි ගොඩනැංවීමට, සහ ලොව පවතින විසඳීමට වඩාත් දුෂ්කර සංවර්ධන අභියෝග අතරින් ඇතැම් ඒවා සඳහා හොඳම විසඳුම් සොයාගැනීමට එක්සත් ජනපදය ලොව වටා නවෝත්පාදකයින්ට සහ පර්යේෂකයින්ට සහය දෙනවා. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශ‍යේ නවෝත්පාදනයට සහ වර්ධනයට අතදීම සඳහා VEGA සහ තවත් ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශ සමාගම් සමගින් හවුල්වන්නට ලැබීම පිළිබඳව අප සතුටු වනවා,” යනුවෙන් ශ්‍රී ලංකාවේ එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය සඳහන් කළාය.

VEGA හි ආචාර්ය හර්ෂ සුබසිංහ මෙසේ සඳහන් කෙළේය: “විශේෂයෙන්ම, විකල්ප බලශක්ති මූලාශ්‍ර පිළිබඳව මෙරට දැඩි උනන්දුවක් ඇති අවස්ථාවක, USAID Sri Lanka හි බලශක්ති වැඩසටහන සමඟ සහයෝගීතාවයෙන් වැඩ කිරීමට ලැබුණු මෙම අවස්ථාව ගැන අපි බොහෝ සතුටු වනවා. වසර ගණනාවක් මුළුල්ලේ බොහෝ කර්මාන්ත පරිවර්තනයට ලක් කිරීමටත්, අපේ දේශීය සන්නාම ලෝකය හමුවට ගෙනයන්නටත් VEGA හි අපේ බහු-විෂයික කණ්ඩායම්වලට හැකිවී තිබෙනවා. දැන්, මෙම පොදු දැක්ම හරහා, ඉදිරි පරම්පරාවලට තිරසාර අනාගතයක් උදාකර දීමට මග පාදමින් සංවර්ධනය කරා අපේ මවුරට යන ගමනට සහය ලබාදීමට අප උදේයෝගයෙන් සිටිනවා.”

VEGA Innovations යනු ශ්‍රී ලංකාව පදනම් කරගත් විදුලි යතුරුපැදි, ත්‍රීරෝද රථ, සුපිරි මෝටර් රථ (supercars) සහ විදුලි වාහන ආරෝපක (charger) නිෂ්පාදනය කරන විදුලි වාහන නිෂ්පාදකයෙකි. එය, ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට විදුලි වාහන (EV) පර්යේෂණ සහ සංවර්ධන සේවා සැපයීම මෙන්ම, ඉහළ කාර්යසාධනයක් සහිත ඉන්වර්ටර්, ඩ්‍රයිව්ට්‍රේන් සහ බැටරි ඇසුරුම් වැනි EV අංගෝපාංග සැලසුම් කිරීම සහ නිෂ්පාදනය සිදුකරයි.

USAID Sri Lanka හි බලශක්ති වැඩසටහන වෙනුවෙන් සහ VEGA Innovations වෙනුවෙන් පිළිවෙලින් රික් විටෙකර් මහතා සහ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා ගිවිසුමට අත්සන් කර සාක්ෂි දැරූහ.

USAID Sri Lanka හි බලශක්ති වැඩසටහන යනු ශ්‍රී ලාංකීය ජනතාවගේ සෞභාග්‍ය වෙනුවෙන් එක්සත් ජනපදයේ අඛණ්ඩ කැපවීමෙහි එක් අංගයක් පමණි. 1961 පටන් USAID ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය, ව්‍යවසායකත්වය, කාන්තාවන් සවිබලගැන්වීම, සහ පාරිසරික සංරක්ෂණය ම‍ෙන්ම තවත් බොහෝ අංශවලට සහය ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට රුපියල් බිලියන 350කට (ඩොලර් බිලියන 2) වඩා ලබා දී තිබේ.

USAID විසින් සිදුකරන කාර්යයන් පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර usaid.gov/sri-lanka වෙත පිවිසෙන්න.