June, 17, 2022
වැලිබල් වන් සමූහයේ නව සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතා පත් කර තිබේ. ඔහු එම සමූහයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ. 2022 ජූනි 16 දින සිට මෙම පත්වීම බලපැවැත්වෙනු ඇත.
මීට පෙර වැලිබල් වන් සමූහයේ පාලක කොටස් හිමිකරුවා වූ ධම්මික පෙරේරා මහතා එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබීය. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහු එළඹෙන ජූනි 21 දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. මේ හේතුවෙන් ඔහු විසින් දරනු ලැබූ සමාගම් සභාපති/ අධ්යක්ෂ තනතුරුවලින් පසුගිය දා ඉවත් විණි.
ජනාධිපති නීතීඥයකු සහ මෙරට නීති ක්ෂේත්රයේ ප්‍රවීන වෘත්තිකයකු වන හර්ෂ අමරසේකර මහතා මුල් අවස්ථා අධිකරණ සහ අභියාචනා අධිකරණයන්හිද පුළුල් අත්දැකීම් ලැබූ අයෙකි. වාණිජනීතිය, ව්‍යාපාර නීතිය, සුරැකුම්පත් නීතිය, බැංකු නීතිය හා බුද්ධිමය දේපළ නීතිය පිළිබදව විශේෂඥයෙක් වන ඒ මහතා බේරුම්කරණය සහ ජාතික වශයෙන් පවතින අර්බුද යනාදී අංශයන්හිද සුවිශේෂී පළපුරුද්දක් ඇත්තෙකි.
1987 වසරේ නීතීඥයකු ලෙස පත්වූ ඒ මහතා 2012 වසරේදී ජනාධිපති නීතීඥයකු ලෙස දිවුරුම් දෙනු ලැබීය.
වර්තමානයේ දී ඔහු සම්පත් බැංකුවේ සභාපතිවරයා ද වේ. සම්පත් බැංකුවේ කොටස් හිමිකාරීත්වය අනුව ප්රමුඛ කොටස්කරුවා වන්නේ වැලිබල් වන් සමූහයයි.
ආයතනික අංශයේ අත්දැකීම් රැසක් සමගින් හර්ෂ අමරසේකර මහතා මේ වනවිට CIC හෝල්ඩින්ග්ස් පීඑල්සී (සභාපති), ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී (සභාපති), වැලිබල් පවර් එරත්න පීඑල්සී (සභාපති), එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් පීඑල්සී, ෂෙව්රෝන් ලූබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී (සභාපති), ඇම්බියන් කැපිටල් පීඑල්සී, සහ අමායා ලෙෂර් පීඑල්සී ඇතුළු කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කර ඇති ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඒ මහතා CIC ඇග්රි බිස්නස් (පුද්) සමාගම සහ ස්විස්ටෙක් ඇලූමිනියම් ලිමිටඞ්හි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර අමානා බෑන්ක් පීඑල්සීහි සමාරම්භයේ සිට 2020 වසරේ පෙබරවාරි මස විශ්‍රාම යන තෙක් අධ්යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇත.
Video Story