June, 29, 2022
ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවය ආශ්‍රිත හදිසි කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායු, නිවාස සහ නාගරික කටයුතු අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා හමුවිය. මෙම හමුව ජුනි මස 27 වන දින නවදිල්ලියේ පිහිටි නිවාස සහ නාගරික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා සිටින උග්‍ර අභියෝග සහ ජනතාව මුහුණ දෙන දැඩි දුෂ්කරතා පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මහතා ඉන්දීය අමාත්‍ය පූරි මහතා හමුවේ කරුණු දැක්වීය.
ඉන්ධන ආනයනය කිරීම සඳහා ණය ආධාර වශයෙන් ලබාදුන් සහය වෙනුවෙන් ඉන්දියාවට ස්තුතිය පළ කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට දැනට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් සැපයුම් කඩිනමින් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව අමාත්‍ය පූරි මහතා සමඟ සාකච්ඡා කළේය. අමාත්‍ය පූරි මහතා මේ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ අතර මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක් ම පිරිනමන බවට මහ කොමසාරිස්වරයාට සහතික විය.
ක්ෂණික අර්බුදයෙන් මිදීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය සහතික කිරීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පවත්නා සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි ක්‍රමවේද පිළිබඳව ද මහ කොමසාරිස්වරයා ඉන්දීය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය. මෙම සන්දර්භය තුළ ඛනිජ තෙල්, තෙල්, ගෑස් සහ ඒ ආශ්‍රිත සැපයුම් ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවට දිගුකාලීන සබඳතා ඇති කර ගත හැකි ක්‍රම සහ විධි පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මහතා සහ අමාත්‍ය පූරි මහතා සාකච්ඡා පැවැත්වූහ.
Video Story