December, 31, 2015
දැනට බැංකුවල වසර ගණනාවක් පුරාවට අක්‍රීය තත්ත්වයේ තිබෙන ගිණුම් රජයට පවරා ගැනීමක් සිදු නොවන බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් දී පැවසීය. මෙය බැංකු පනතේ දැනටමත් තිබෙන විධිවිධානයක් ක්‍රියාත්මක කිරීමක් පමණක් බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමන්සිරි මහතා මෙම අක්‍රීය ගිණුම් පිළිබඳව මෙසේ විස්තර කරනු ලැබීය.
“තමන් අක්‍රීය යැයි සලකන ගිණුම්වල කාලරිච්ඡේදය තීරණය කිරීමට එක් එක් බැංකුවට අභිමතය තිබෙනවා. එය වසරක්, වසර 3 ක් හෝ 5 ක් යනාදී වශයෙන් බැංකුවෙන් බැංකුවට වෙනස්වන්නට පුළුවන්. මෙවැනි ප්‍රතිපත්තියක් තිබෙන්නේ ඒ ගනුදෙනුකරුවාගේ තැන්පතුවේ ආරක්ෂාව සඳහා. ඇතැම් විට අයථා ක්‍රම මගින් මෙවැනි අක්‍රීය ගිණුම්වල මුදල් ලබා ගන්න ඇතැම් පිරිස් උත්සාහ දරා තිබෙන බවට වාර්තා වෙලා තිබෙනවා. යම් අවස්ථාවක දී අක්‍රීය ගිණුමක හිමිකරුවෙකු තම ගිණුමෙන් මුදල් ලබා ගැනීමට පැමිණියහොත් ඔහුට සාමාන්‍ය ක්‍රමවේදය අනුව මුදල් කවුන්ටරයෙන් මුදල් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔහු විසින් විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙනවා. මෙය එම මුදල්වල සුරක්ෂිතභාවය වෙනුවෙන් අදාළ බැංකුව විසින් ගෙන තිබෙන පියවරක්“.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.
“මෙලෙස වසර 10 කට වැඩි කාලයක් අක්‍රීය වී තිබෙන බැංකු ගිණුම්වල ඇති තැන්පතු මුදල් දැනට තිබෙන ක්‍රමවේදය අනුව එම වටිනාකමින් 90% ක් මහ බැංකුව වෙත පවරා ගනු ලබනවා. ඉතිරි 10% අදාළ බැංකුව භාරයේ තිබෙන අතර යම් දිනෙක එම තැන්පතුවල අයිකරුවන් පැමිණි අවස්ථාවක මහ බැංකුව විසින් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් පසු එම මුදල ආපසු ගත හැකියි. ඉතිරිය අදාළ බැංකුව හරහා ලබා ගත හැකියි. මෙම මුදල් රජයේ සුරැකුම්පත්වල ආයොජනය කරනු ලබන අතර තැන්පතුව පැවති කාලය අනුව යම් පොළියක් ද ඊට හිමිවෙනවා“.
රජයේ 2016 අයවැය යෝජනා අනුව සිදුවන්නේ මෙතෙක් එවැනි අක්‍රීය ගිණුම්වල පැවති මුදල් මහබැංකුව වෙනුවට මහා භාණ්ඩාගාරය වෙත යාම පමණක් බැව් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙහිදී කියා සිටියේය. මහ බැංකුවට හෝ මහා භාණ්ඩාගාරයට හෝ කුමන ආයතනයට එම මුදල් පැවරුවද ඒ සඳහා රජය වගකීමට බැඳී සිටින බැවින් එහි සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා ගැනීම අනවශ්‍ය බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙලෙස මහා භාණ්ඩාගාරය වෙත පැවරෙන අක්‍රීය ගිණුම් මුදල් කුමන මාර්ගවල ආයෝජනය කරන්නේද යන්න මුදල් ඇමතිවරයා විසින් තීරණය කරනු ලබන බවත්, මෙම ක්‍රමවේදය අක්‍රීය ගිණුම් හිමියන්ගේ මුදල් රජයට පවරා ගැනීමක් ලෙසින් අර්ථකථනය කිරීමෙන් වළකින ලෙසත් ඔහු මෙහිදී පවසන ලදී.
මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව රුපියල් බිලියන 3.2 ක වටිනාකමකින් යුතු අක්‍රීය මුදල් තැන්පතු තිබෙන බව මෙහිදී අනාවරණය කෙරිණි.
https://www.youtube.com/watch?v=bgSI5rEH4sk
Video Story